මැලේසියා යානය මුහුදට වැටිලා


මගීන් 239 දෙනකු සමග අතුරුදන් වූ මලයාසියා එම් එච් 370 ගුවන් යානය දකුණු ඉන්දියා සාගරයට කඩා වැටී ඇතැයි එරට අගමැති නජීබ් රසාක් මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මීට ටික වේලාවකට පෙර ප්‍රකාශ කළේය.

බ්‍රිතාන්‍යයේ චන්ද්‍රිකා නිරීක්ෂණ ආයතනයක් මගින් යානයේ කොටස් නිරීක්ෂණය කර ඇති බව ද අගමැතිවරයා කීවේය.  පර්ත් නුවරට කිලෝ මීටර් 2,500 ක් බටහිර දෙසින් හමුවුණු එම සුන්බුන් කොටස් යානයේ යැයි තහවුරු වී ඇති බව අගමැති රසාක් පැවසීය.

යානයේ ගමන් ගත් මගීන් සියලු දෙනා ජීවිතක්ෂයට පත්වී ඇතැයි අගමැතිවරයා ඔවුන්ගේ පවුල්වල උදවියට දැනුම් දුන්නේය. එය ඇසීමත් සමග ඔවුන්ගේ ඥාතීහු විලාප තබන්නට වූහ.

මැලේසියාවේ ක්වාලාලාම්පූර් සිට චීනයේ බීජීං නුවර බලා ගමන් කළ යානය වියට්නායමට ඉහළින් දකුණු චීන මුහුද හරහා පියාසර කරද්දී එහි ගමන් මඟ වෙනස් විය.

යානය දකුණු චීන මුහුදට, මලක්කා සමුද්‍ර සන්ධියට හෝ ඉන්දියා සාගරයට හෝ කඩා වැටුණාදැයි සෝදිසි සිදු කැරුණු අතර  එම යානය පැහැර ගන්නට ඇතැයි ද, යානය කොතැනක හෝ නිරුපද්‍රිතව ඇතැයි ද ආදී විවිධ අදහස් මීට පෙර ප්‍රකාශ විය.

පසුගිය 22 වැනි දා ඕස්ට්‍රේලියා චන්ද්‍රිකාවකට යානයේ යැයි සැක කෙරෙන කොටස් දෙකක් ඉන්දියා සාගරයේ ඇතැයි නිරීක්ෂණය වීමෙන් පසුව එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ඇරැඹීය. ඒ සඳහා රටවල් කිහිපයක නැව් හා ගුවන් යානා යොදා ගැණිනි. මේ ප්‍රදේශයේ පවතින කුණාටු තත්ත්වයක් හේතුවෙන් සෝදිසි මෙහෙයුම් නතර කැර දැමිමට ද සිදුව ඇත.