
( සිතුම් චතුරංග)
යාපනයේ ක්‍රියාත්මක මැරකල්ලි භාවිතා කරන තියුණු ආයුධ කිහිපයක් යාපනය , අච්චුවේලි , සෙල්වනායගපුරම් ප්‍රදේශයේ ඉඩමක තිබී සොයාගත් බව අච්චුවේලි පොලිසිය කියයි.
පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත ලැබුණ තොරතුරක් අනුව ඉඩම පරීක්ෂා කිරීමේදී තියුණු ආයුධ හතරක් සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.
දකුණු ඉන්දියාණු සිනමාපටවල ආභාෂයෙන් යතුරු පැදිවල කොටස් භාවිතා කරමින් මෙම තියුණු ආයුධ නිර්මාණය කොට තිබූ බවත් පොලිසිය පැවසීය.
යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වැටලීම සිදුකරන අවස්ථාවේ තියුණු ආයුධ සඟවා තැබූ පිරිස පැනගොස් සිටි බවත් පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූයේ යාපනය ක්‍රියාත්මක ‘ආවා‘ ඇතුළු මැර ක්‍රියා සිදුකරන කණ්ඩායම් විසින් මෙවැනි ආයුධ භාවිතා කරන බවත් එවැනි කණ්ඩායමක් විසින් කඩකප්පල්කාරී ක්‍රියා සිදුකිරීමට මෙම තියුණු ආයුධ සඟචා තිබූ බවයි.
තියුණු ආයුධ නිර්මාණයකළ සහ භාවිතා කළ කණ්ඩායම් සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කොට ඇති බවත් පොලිසිය පැවසීය.
අච්චුවේලි පොලිසිය , පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුර විමර්ශන සිදුකරයි.

