මැයි රැලියට ඇවිත් හයිවේ එකේ රැඟූ අයට නීති පියවර


(අංජුල මහික වීරරත්න)

ජාතික ජන බලවේගයෙ මැයි දින රැළියට පැමිණ නැවත යන ගමනේදී දක්ෂිණ අධිවේගී මාර්ගය අයිනේ බස් රථ නවතාගෙන සිටි රියැදුරන්ටත් ඊට සයෝගය දුන් කණ්ඩායම් වලටත් ඒ සිදුවීම බලා සිටි පොලිසියටත් නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

අදාළ සිදුවීමට සම්බන්ධ වූ මාලිමාවේ පක්ෂ ක්‍රියාකාරීන්ට පක්ෂය ඇතුළෙන් ක්‍රියාමාර්ග ගන්නා බවද ජනාධිපතිවරයා කීය.

"ඒ අයගේ ලැයිස්තුව මම ඉල්ලා තිබෙනවා.හැම බස් එකකටම සංවිධායක සහෝදරයෙක් ඉන්නවා.මොකද මෙය සිදු නොවිය යුතු දෙයක්.රටේ පොදු නීතියක් තිබෙනවා යනුවෙන්ද ජනාධිපතිවරයා පැවසීය.

රූපවාහිනී නාලිකාවක දේශපාලන සංවාදයකදී මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.

"මැයි රැලියට පැමිණි ජාතික ජන බලවේගයේ පිරිසක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ තැනක බැස අධිවේගී මාර්ගයේ මාර්ග නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් කටයුතු කරන අයුරු අප දුටුවා. එහි තවත් බරපතලම කාර්යය වන්නේ ඒ සිදුවීම පොලිසිය බලා සිටීමයි.ආණ්ඩුවේ රැලියට පැමිණි පිරිසක් නිසා පොලිසිය මුකුත් කරන්නේ නැතිද?ඒ අයට තිබෙන්නේ වෙන නීතියක්ද? කතා කරපු සිස්ටම් චේන්ජ් එක කෝ! යනුවෙන් මාධ්‍යවේදියා එහිදී ජනාධිපතිවරයාගෙන් විමසීය.

ඊට පිළිතුරු දෙමින් ජනාධිපති අනුර දිසානායක මහතා පැවසූයේ

"මම මේ ප්‍රශ්නය මතුවී තිබෙන විදිය බැලුවා. මම මේක සාධාරණීකරණය කරනවා නෙමෙයි.මේ අය දුර ඉඳන් එන පිරිසක්.මේ පිරිස එන්න ඇත්තේ දකුණෙන් නේ.ඒ ගැන මම සොයා බැලුවා.මම මාතරට, හම්බන්තොටට, මොණරාගලට,බදුල්ලට සහ අම්පාරට කතා කළා.ඒ බස් වල සිටියේ කවුද? ඒවායේ සංවිධායක කවුද? කියා පවසන්නැයි මා දැනුම් දුන්නා.

ඒ සිදුවීම වුනේ අධි වේගයේ වාහන නවත්වන තැන.එහි යම් ඉඩ ප්‍රමාණයක් තියෙනවනේ.ඒ ඉඩ ප්‍රමාණවත් නැති වුණාම ඇතුලේ හිරවෙනවා.ඒ ක්‍රියාව වැරදියි.ඒ සිදුවීම බලා ඉඳලා පොලිසිය ඒකට ඉඩ දුන්නා නම් ඒකත් වැරදියි.ඒකට විනය ක්‍රියාමාර්ග ගන්න ඕන.එහෙම වැඩ කරන්න බෑ.

ඒ සිදුවීම බලා සිටි පොලිසියටත්, බස් එහි නතර කළ රියැදුරන්ටත්, අනෙක් පැත්තෙන් ඊට සයෝගය දුන්න කණ්ඩායම් සිටිනවා නම් ඔවුන්ටත් ක්‍රියාමාර්ග ගන්න ඕන.නීතිය ක්‍රියාත්මක කරන්න ඕන.ඊට සම්බන්ධ වූ මාලිමාවේ පක්ෂ ක්‍රියාකාරීන්ට පක්ෂ ඇතුළෙන් ක්‍රියාමාර්ග ගන්නවා.ඒ අයගේ ලැයිස්තුව මම ඉල්ලා තිබෙනවා.හැම බස් එකකටම සංවිධායක සහෝදරයෙක් ඉන්නවා.මොකද මෙය සිදු නොවිය යුතු දෙයක්.රටේ පොදු නීතියක් තිබෙනවා යනුවෙනි.