මැතිසබේ සේවක කෑම බිල බස්සයි


 

(සුජිත් හේවාජුලිගේ  සහ අංජුල මහික වීරරත්න)

මෑතකදී වැඩි කෙරුණු පාර්ලිමේන්තු නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ මාසික කෑම බිල අඩු කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව අද (20)  තීරණය කළේය.

මේ අනුව පාර්ලිමේන්තුවේ විධායක නිලධාරීන්ගේ රුපියල් හාරදහසක මාසික කෑම බීල රුපියල් තුන්දහසක් දක්වාද සාමාන්‍ය සේවකයන්ගේ රුපියල් 2500 කෑම බිල රුපියල් 2000 දක්වාද  අඩු කෙරෙනු ඇත.

පාර්ලිමේන්තු නිලධාරීන් සහ සේවකයන්ගේ කෑම බිල  මෑත භාගයේදී සංශෝධනය කෙරුණු තුන්වෙනි අවස්ථාව මෙයයි.

නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ ඉල්ලීම අනුව එම මිල ගණන් මෙසේ අඩු කෙරුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

සියලු දීමනා කප්පාදු කර ඇති තත්වය යටතේ පාර්ලිමේන්තුවේ මාසික කෑම බිල දරාගත නොහැකි බව පවසමින්  එහි සේවකයෝ  පිරිසක් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ආහාර නොගන්නා බවට පාර්ලිමේන්තු ප්‍රධානීන්ට ලිපියක් බාර දෙමින් පසුගියදා දැනුම් දුන්හ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික කෑම බිලද පසුගියදා වැඩි කෙරිණ.