මැතිසබේ IT අංශයේ කාන්තා හිංසන හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්


(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් කාන්තාවන්ට සිදු වී ඇතැයි පැවසෙන ලිංගික හිංසන සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින්  ත්‍රිපුද්ගල කමිටුවක් අද (11) පත් කරනු ලැබීය.

මෙම ත්‍රිපුද්ගල කමිටුවේ සභාපතිනිය ලෙස හැන්සාඩ් සංස්කාරක නයනි ලොකු කොඩිකාර ද සිල්වා මහත්මිය පත් කරනු ලැබ සිටින්නීය.

සහකාර අධ්‍යක්ෂ පරිපාලන සී.එම් බුලත්සිංහල සහ ප්‍රධාන නිලධාරී පී.ජී.පී ප්‍රියංකර එහි සෙසු සාමාජිකයෝ වෙති.

මෙම විමර්ශනය ලබන 14 සිකුරාදා උදේ10.30 ට කාරක සභා කාමර අංක 7 හිදී පැවැත්වීමට නියමිතය.

අභ්‍යන්තර විමර්ශනයෙන් අනතුරුව සිද්ධිය පිළිබඳව බාහිර විමර්ශනයක් පැවැත්වීමටද  කතානායකවරයා තීරණය කර ඇත.

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සිදුවී ඇතැයි පැවසෙන මෙම ලිංගික හිංසන සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය දිනවල මැතිසබයේද ලොකු කතාබහක් ඇතිවිය.

එසේම සිද්ධිය  පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේද පුළුල් ලෙස සාකච්ඡා කෙරිණ. මේ සම්බන්ධයෙන් බාහිර විමර්ශනයක් පවත්වන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට එහිදී තීරණය කෙරුණු බව මහනුවර දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රීනි චමින්ද්‍රාණි  කිරිඇල්ල මහත්මිය පැවසුවාය.

මේ අතර පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිරිහැර සම්බන්ධයෙන්  එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු ඇතුළු තිදෙනෙකු පාර්ලිමේන්තු සේවයේ නෙරපා හැරීමට  සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ බාහිර පරීක්‍ෂණ කමිටුව පසුගියදා නිර්දේශ කළේය. ඒ අනුව එම තිදෙනා පාර්ලිමේන්තු සේවයෙන් නෙරපා හැරීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින්  පියවර ගනු ලැබීය.

එම සිද්ධියේ බාහිර විමර්ශනය පවත්වනු ලැබුවේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය විසිනි.