මැති සබේට බුරුත අත්තක්


ක්‍රීඩා අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට ලක් කරමින් අද (5) පාර්ලිමේන්තුව රැස්ව සිටි අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා බුරුත අත්තක් සභාගත කළේය.

හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රීඩාවට වඩා සිදුකළේ වෙනත් කටයුතු බවත් එම සමයේ කළුවර, බුරුත ආදී ලී පැටවූ ආකාරය පිළිබඳ තමාට සාක්කි ඇති බවත් කියමින් ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සභාවේ සිටින්නන්ගේ දැන ගැනීම පිණිස බුරුත අත්ත සභාගත කරන බව කියා සිටියේය.

මේ අතර සෙනසුරාදා (3) පාර්ලිමේන්තු පාරේ පැවැති උද්ඝෝෂණයකට පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයේදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට කඳුළු ගෑස් එල්ලවීම සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. එහිදී අදහස් දැක්වූ කථානායක කරු ජයසූරිය කියා සිටියේ මේ සම්බන්ධයෙන් තමා සොයා බැලූ බවත් උසාවි නියෝග කඩ කිරීම හේතුවෙන් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට සිදුවී ඇති බවත්ය.