(අංජුල මහික වීරරත්න)
රත්නපුරය මැණික් ව්‍යාපාරිකයින්ගේ "මිණි ධන පදනම" මැණික් ලක්ෂයක් එබ්බ වූ රුපියල් කෝටි සියයක් පමණ වටිනා මැණික් පුටුවක් බුදු සසුනට පූජා කිරීමට තීරණය කර තිබේ.
මෙම මැණික් පුටුව නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයට පූජා කෙරෙනු ඇත.
චුලෝදර- මහෝදර නා රජුන් මැණික් පුටුවක් මුල් කර ගනිමින් ඇති කරගත් ගැටුම බුදුන් වහන්සේ විසින් සංසිඳවීම සිහිපත් කරමින් නාගදීප රජමහා විහාරස්ථානයට මැණික් පුටුව පූජා කිරීමට "මිණි ධන පදනම අපේක්ෂා කරයි.
මෙම මැණික් පුටුව පූජා කිරීමේ පුණ්‍යෝත්සවය ආරම්භ කරමින් මැණික් පුටුව රැගත් රථ පෙරහර හෙට (3) රත්නපුර ඔරලෝසු කණුව අසලින් පෙරවරු 8.00ට ගමන් ආරම්භ කිරීමට නියමිතයි.
එදින හවස කැලණිය රජ මහා විහාරයට වැඩම කරවන මැණික් පුටුව පසුදා (4) උදෑසන වනතුරු කැලණි රජමහා විහාරයේ වන්දනාමානයට තැන්පත් කෙරෙයි.
පසු දින (4) උදෑසන මැණික් පුටුව දඹුල්ල රජමහා විහාරයටත්, 5 වැනි දා සවස රුවන්වැලි මහා සෑයටත් වැඩම කෙරේ. අනතුරුව 6 වැනිදා යාපනය නාග විහාරයට සහ 7 වැනිදා මුහුදු මාර්ගයෙන් නාගදීප පුරාණ රජමහා විහාරයට මැණික් පුටුව වැඩම කරවන බව නාගදීප රජමහා විහාරාධිපති නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියෝ පැවසූහ.