මැගසින් රැඳවියන් පිරිසක් උපවාසයක


බිඟුන් මේනක ගමගේ

 

කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ද අද (19) එක් දින සංකේත උපවාසයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

 

මෙම රැඳවියන් මෙසේ උපවාසය ආරම්භ කර ඇත්තේ අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයේ නියුතු රැඳවියන්ට සහාය පළ කරමින් යැයි ද එම ආරංචි මාර්ග කීය.

 

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින දේශපාළන රැඳවියන් අට දෙනෙකු පසුගිය 14 වැනිදා ආහාර වර්ජනය කරමින් ආරම්භ කළ උපවාසය තවමත් ක්‍රියාත්මක බවත් ඊට සහාය දක්වා මෙසේ මැගසින් බන්ධනාගාරයේ දෙමළ සිරකරුවන් පිරිසක් උපවාසයක් ආරම්භ කළ බවත් දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු එම්.සත්තිවේල් පියතුමා පැවසීය.

 

නිශ්චිත දිනක් ප්‍රකාශ නොකර නිදහස් කිරීමේ පොරොන්දුවක් ලබා නොදුණහොත් ඉදිරි දිනකදී අනිවාර්යෙන්ම මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට මෙම පිරිස ද සූදානම් බවත් ඒ බව මැගසින් බන්ධනාගාර පාලනාධිකාරියට දන්වා ඇති බවත් වැඩිදුරටත් සඳහන් කළේය.