මාළු මිල අඩු වෙලා


වසර දෙක තුනකට පසු දිවයින අවට මුහුදු තීරයෙන් ලැබෙන මත්ස්‍ය අස්වැන්න ඉහළ යාම නිසා මාළු මිල ගණන් පහළ ගොස් ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංය සඳහන් කරයි. 

ශ්‍රී ලංකාව අවට සාගර කළාපය තුළ මේ දිනවල බහුල වශයෙන් මසුන් ගැවසෙන බවත් දිනපතා අල්ලා ගනු ලබන මසුන් ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බවත් ධීවර ප්‍රජාව පවසන බව ද එම අමාත්‍යාංශය සඳහන් කරයි. 

ඉතාමත් මිල අධික මත්ස්‍ය විශේෂයෙක් වන තෝරා මත්ස්‍ය මිල ගණන් ඉතා ඉහළ වූ අතර  පසුගිය කාලයේ කිලෝවක මිල රුපියල් 2000කට ආසන්න විය. ඔක්තෝබර් මාසයේ පළමු සතිය තුළ තෝරා මාළු කිලෝවික මිල රුපියල් 1443ක පැවැති දෙවැනි සතියේදී එය රුපියල් 1380ක් බවට පත්වූ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශ සංඛ්‍යා දත්ත සඳහන් කරයි. මේ සතිය වන විට තෝරා මාළු කිලෝවක රුපියල් 850 දක්වා පහළ ගොස් ඇතැයි ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කරයි.

සාලයා, ලින්නා, කෙලවල්ලා, බලයා, අලගොටුවා යන මත්ස්‍ය මෙන්ම තලපත් හා මෝර යන මත්ස්‍ය විශේෂවල අස්වැන්න ද පසුගිය සති දෙක තුළ ක්‍රමිකව වැඩි වී ඇති අතර මේ තත්ත්වය ඉදිරියටත් පවතිනු ඇතැයි ද එම අමාත්‍යාංශය සඳහන් කර සිටියේය. 

ඔක්තෝබර මාසය ආරම්භයේදී රුපියල් 920 පැවැති පරව් මාළු කිලෝවක මිල දෙවැනි සතියේදී රුපියල් 848ක් දක්වාත් සඳුදා (1) වනවිට රුපියල් 650ක් දක්වා අඩු වී ඇති බවත් වාර්තා වේ.