මාස නමයකට අල්ලස් ගත් රාජ්‍ය නිලධාරීන් 32 ක් අත්අඩංගුවට


(හසිත රංග ගුණතිලක)

මෙම වසරේ ගතවූ මාස නමයක කාලය තුළ අල්ලස් ලබාගත් රාජ්‍ය නිලධාරීන් 32 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා ලංකාදීපයට පැවසීය.

මෙම වසරේ දී ලබාගත් විශාලතම අල්ලස් මුදල රුපියල් කෝටි 02ක් බවත් චන්ද්‍රසිරි මහතා කීය.

අල්ලස් ලබාගන්නා අවස්ථාවේ අත්අඩංගුවට ගත් පිරිස අතර සහකාර  පොලිස් නිලධාරියෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 08 දෙනෙක්ද, විදුලිබල මණ්ඩලයේ විදුලි අධිකාරීවරයෙකු, බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ජේ්‍යෂ්ඨ තක්සේරු නිලධාරියෙකු , කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශකවරයෙකු, සුරාබදු දෙ පාර්තමේන්තුවේ නිලධාරියෙකු ඇතුළු තවත් නිලධාරීන්ද සිටින බව චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේය.
 
මෙම වසරේ ගතවූ කාලය තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි 2369 ක් ලැබී ඇති අතර ඉන් පැමිණිලි 1525 ක් විභාග කර අවසන් කර ඇතැයිද පොලිස් අධිකාරී වරයා පැවසීය.