මෙම වසරේ මුල් මාස අටේ දී වද හිංසාවන්ට පත් කිරීමේ සිදුවීම් 208ක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට වාර්තා වී ඇතැයි එම කොමිසම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කමිටුවකට බාර දුන් වාර්තාවක සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ වද හිංසාවන්ට ලක් කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් පිටු 17ක වාර්තාවක් මානව හිමිකම් කොමිසම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වද හිංසාවන්ට එරෙහි කමිටුවට පසුගිය දා බාර දුන්නේය.
කෘර සහ අමානුෂික වද හිංසාවන්ගෙන් මිදීමේ සම්මුතිවාදී පනත යටතේ කෙතරම් නඩු ප්‍රමාණයක් ගොනු කර ඇත්දැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නීතිපතිවරයාගෙන් කළ විමසීමට වාර්තාව සකස් කරන තෙක් ප්‍රතිචාරයක් නොලැබුණු බව ද එම වාර්තාවේ සඳහන් වේ.
කොටදෙනියාවේ සේයා දැරිය ඝාතනය කළැයි සැකපිට පාසල් සිසුවකු අත්අඩංගුවට ගෙන පහර දීමේ සිද්ධිය ඇතුළු නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් සහ පොලිස් පහරදීම් සම්බන්ධ සිදුවීම් කිහිපයක් උදාහරණ ලෙස එම වාර්තාවට ඇතුළත් කර තිබේ.
2016 අප්‍රේල් මාසයේ සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් 13 දෙනකු අත්අඩංගුවට ගැනීමේ දී සහ ප්‍රශ්න කිරීමේ දී වදහිංසාවන්ට පැමිණ වූ බවට පැමිණිලි කර ඇතැයි කියන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඔවුන්ට අතින් පහරදීමට අමතරව ප්ලාස්ටික් පයිප් අදියෙන් පහර දීම හා වද හිංසාවන් පැමිණවූ ආකාරය ගැන ද සඳහන් කරයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්තන් හා රඳවා තබා ගන්නා පුද්ගලයන් හමු වීමට යෑ මේදී දැඩි අපහසුතාවන්ට ලක් වන බව නීතීඥවරුන් පැමිණිලි කර ඇතැයි ද මානව හිමිකම් කොමිසමේ වාර්තාවේ ඇතුළත් වේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් 111ක් රිමාන්ඩ් බාරයේ පසු වන බවත්, ඉන් 29 දෙනකුට චෝදනා ගොනු කර නැති බවත්, චෝදනා නැතිව අවුරුදු 15ක් පමණ තරම් දිගු කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවන පුද්ගලයකු ද සිටි බවත්, ඇතැම් නඩු 2002 වසරේ සිට තවමත් විභාග වන බවත් මානව හිමිකම් කොමිෂන් සභා වාර්තාවේ සඳහන්ය.
මේ අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය වැඩි දියුණු කිරීමට සහ වද හිංසා අඩු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන ද එම වාර්තාවේ විස්තරාත්මකව ඇතුළත් කර තිබේ.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක සිදු වී ඇතැයි කියන වද හිංසාවන් ගැන සොයා බැලීම සඳහා වද හිංසා වලට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව ලබන 07 වැනිදා ජිනීවා නුවරදී රැස්වෙන බව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය අද (01) නිවේදනය කළේය.
පුරා මාසයක් ජිනීවා මානව හිමිකම් කවුන්සිල මූලස්ථානයේ පැවැත්වෙන වද හිංස වලට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටු සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම ලබන 15 සහ 16 දෙදින සිදු කිරීමට නියමිත බව එම කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.
වද හිංසා වලට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව විවිධ රටවල් නියෝජනය කරන විද්වතුන් දස දෙනෙකුගෙන් යුතු වේ.