මාස 11 ක උත්සාහයකින් පසු නියපොත්තා අල්ලයි


(විනීතා එම් ගමගේ)

තඹුත්තේගම ප්‍රදේශයේ දී වන නිලධාරියෙකු ඇතුළු අට දෙනෙකුට වරින් වර මරු කැඳවූ නියපොත්තා නමැති අලියා වනජීවී නිලධාරින් විසින් අල්ලා ගනු ලැබ හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට අද (29) ගෙනයනු ලැබීය.

වනජීවී නිලධාරින් මෙම අලියා අල්ලා ගැනීමේ මෙහෙයුමෙහි මාස  11කට ආසන්න කාලයක් නිරතව සිටි අතර එම මෙහෙයුම් ආරම්භකළ ඉකුත් ජනවාරි මාසයේ දී මෙම අලියා අතින් වනජීවී නිලධාරියෙක් ද ඝාතනය විය.

මේ වනවිට ඔවුන්‍ගේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ද ආරම්භ වී ඇති නමුත් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සීබී රත්නායක මහතා‍ගේ ඉල්ලීම මත මෙම මෙහෙයුම අවසන් කළ බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ලංකාදීපයට පැවැසීය.

තඹුත්තේගම හා ආසන්න ප්‍රදේශයන්හි වගාවන්ට විශාල ලෙස හානි කළ මෙම අලියා ප්‍රදේශවාසින් හත් දෙනෙකුට ද මරු කැඳවා තිබිණි.

මෙම අලියා අල්ලා ගැනීමට නොහැකි වූයේ ඌ වටා ආරක්ෂාවට තවත් අලින් හතර දෙනෙකු නිරන්තර ආරක්ෂාව සපයමින් සිටි බැවින් යැයි ද නිර්වින්දන වෙඩි නියපොත්තාට නොවදින පරිදි එම අලි හතර දෙනා ආරක්සාව සපයමින් සිටි අන්දම විශ්මය ජනක යැයි ද හරිස්චන්ද්‍ර මහතා කීය.

වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍යවරයා සමග තමන් ද ඉකුත් 28 වැනිදා සිදුවූ අලියා අල්ලා ගැනිමේ මෙහෙයුම බැලීමට ගිය බව ද හෙතෙම කියා සිටියේය.    

කෙසේ හෝ නිර්වින්දන වෙඩි දෙකක් එම අලියාට තබන්නට වනජීවී නිලධාරින් සමත් වුවත් එයින් අලියා වැටෙන්නට යද්දී දෙපැත්තේ සිටි අලි දෙන්නා ඔහුට හේත්තු වී වැටෙන්නට නොදී තබාගෙන සිටි බවත් මේ තත්ත්වය යටතේ ඉතා අසීරු මෙහෙයුමක් සිදුකරමින් වනජීවී නිලධාරින් අලියා අල්ලා ගත් බවත් ලේකම්වරයා සදහන් කළේය.
       

මෙම අලියා නියපොත්තා නමින් හඳුන්වන්නේ ඔහුගේ එක්  නියපොත්තක් වඩාත් වැවී ‍අඩි සළකුණුවල හොඳින් සටහන් වන බැවිනි.