ඉතිහාසයේ වසරක් තුලදී මෙරටට පැමිණි වැඩිම චීන සංචාරකයින් ප්‍රමාණය වාර්ථා කරමින් දිවයිනට පැමිණි 100,000 වන චීන සංචාරක යුවල කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සේද මාවතේදී අද උදෑසන උත්සවාකාරයෙන් පිළි ගනු ලැබීය.
චීනයේ ෂැංහායි නුවර සිට ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 846 දරණ ගුවන යානයෙන් මෙරටට පැමිණි චෙන් හූයි හුවා (30) මහත්මිය සහ යන්ග් හා (33) මහතා මෙම වාසනාවන්ත සංචාරක යුවල විය.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති භාෂ්වර ගුණරත්න මහතා ඇතුළු නිලධාරීහු ඔවුන් වෙනුවෙන් විශේෂ තිලිණ පිරිනැමුහ.
වෘත්තියෙන් ව්‍යාපාරිකයින් වන මෙම යුවල සුවඳ විළවුන් ආයතනයක් පවත්වාගෙන යන බවත් ශ්‍රී ලංකාව පිළිබඳ දක්නට ලැබු වෙළඳ ප්‍රචාරණ දැන්වීමක් නරඹා මෙරටට පැමිණි බව ඔවුහු කටුනායකදී කීහ.
2005 වර්ෂයේදී මෙරටට පැමිණ ඇති චීන සංචාරකයින්ගේ ප්‍රමාණය 9668 කි. එ් වන විට ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණෙන ප්‍රධාන රටවල් 10 ට ඇතුලත්ව නොතිබු චීනය අද වන විට මෙරටට සංචාරකයින් සපයන තුන්වන රට බවට වසරක් ඇතුලත පත්ව ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය පවසයි.
එමෙන්ම ශ්‍රී ලංකා සංචරණය චීනයේ ආරම්භ කළ දැවැන්ත ප්‍රචාරක වැඩපිළිවෙල මගින් ශ්‍රී ලංකාව සුන්දර, නිදහස් හා සාමකාමී සංචාරක ගමනාන්තයක් බව චීනයේ පොදු ජනතාවට දැනගැනීමට හැකි වු බවත් එනිසා වසරක් ඉක්ම යාමටත් පෙර චීන සංචාරකයෝ ලක්ෂයක් මෙරටට ආකර්ශණය කර ගැනීමට හැකි වී ඇති බවද කීය.
එලෙසම 100,000 වන වන සංචාරකයාගේ පැමිණීම සමරමින් චීනයේ කුන්මිං නගරය ආශ්‍රීතව දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහනක් සිදුකිරීමට නියමිතය.













