මාලබේ සිසුන්ට සායනික පුහුණුව කඩුවෙලින්, අවිස්සාවේල්ලෙන්


මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට අවිස්සාවේල්ල සහ කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලට අයත් රජයේ රෝහල් සහ වෛද්‍ය ආයතන වල සායනික පුහුණුව රුපියල් 50000 ක ගාස්තුවක් යටතේ   ලබා දීමට හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා අද (15) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

අධිකරණයට දුන් එකඟතාවයන් අනුව කටයුතු නොකිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුවී යැයි කියමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සහ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ  ගොනු කළ පැමිණිල්ලක්  අගවිනිසුරු කේ.ශ්‍රී  පවන්, සිසිර ද අබෘෘ සහ අනිල් ගුණරත්න හමුවේ  කැඳවු අවස්ථාවේදී සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතා එම ප්‍රතිඥාව දුන්නේය.

එහි සිසුහු පිරිසක් පැමිණිල්ල ගොනු කළහ.

සෞඛ්‍ය ලේකම්වරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් එස්.බාරි මහත්මිය මේ බව දැනුම් දීමත් සමඟ සෞඛ්‍ය ඇමැති හා ලේකම්ට එරෙහිව ගොනු කළ පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නා බව සිසුහු දැනුම් දුන්හ.

මේ අතර මෙම පෙත්සමට අතුරු පාර්ශවයක් ලෙස මැදිහත් වීමට අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා  සිටියද  එය අධිකරණය විසින් බැහැර කැරිණි.

මෙම සායනික පුහුණුව මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ලබා දීම සම්බන්ධයෙන් වන ප්‍රගතිය ලබන ජනවාරි 18 අධිකරණයට දන්වන ලෙසද අධිකරණය දැනුම් දුන්නේය .

එම පුහුණුව තමන්ට ලබා දෙන බවට ඉකුත් වසරේ සැප්තැම්බර් 29 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වු එකඟතාවයට අනුව කටයුතු නොකිරීම අධිකරණයට අපහාසයක් වන හෙයින් ව්‍යවස්ථාවේ 105(3) වගන්තිය යටතේ වගඋත්තරකාර සෞඛ්‍ය අමාත්‍යවරයාට හා සෞඛ්‍ය අමාත්‍ය ලේකම්වරයාට එරෙහි සුදුසු දඬුවම් පනවන්නැයි ද පැමිණිලිකාර පාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.