මාලනිත් එක්ක වීරයාගෙ චරිතය කරන හීනයක් මට තිබුණේ...


2017-01-27-ent-26

සිනමාව, වේදිකාව පුංචි තිරය ජයගත් ප‍්‍රතිභාපූර්ණ කලාකරුවෙක් තමයි ක්ලීටස් මෙන්ඩිස්

ඔහු දුෂ්ට චරිත රංගනයේ යෙදෙන චරිත අතළොස්ස අතර වඩාත් ජනප‍්‍රියත්වයට පත් රංගන ශිල්පියෙක් බවට පත්වුණා. රංගනය පමණක් නොව විටෙක ගායකයෙක් ලෙසද පේ‍්‍රක්ෂකයන් පිනවන්නට සමත් ඔහු දැන් කලා ක්ෂේත‍්‍රයට නැතිවම බැරි චරිතයක්ද වී අවසන්.

මෙවර තරු පෙම් කළ තරු විශේෂාංගයෙන් සැරසෙන්නේ ක්ලීටස්ගේ මනාපයෙන්.

 

මුලින්ම කියමුද ඔබ කුඩා කළ පෙම් බැඳි නිළිය කවුද කියලා?

2017-01-27-ent-27පුංචි කාළේ මම පෙම් බැන්ද නිළිය තමයි මාලනී ෆොන්සේකා.

 

ඇයට පෙම් බඳින්න හේතුව මොකක්ද කියලා ඇහුවොත්?

සිනමාවේ මම ඉස්සෙල්ලම චිත‍්‍රපටයක් බැලූවා. ඇය සහ ගාමිණී ෆොන්සේකා රඟපාපු. ඒකේ නම මට හරියටම මතක නම් නෑ. නමුත් ඉතින් ඒ චිත‍්‍රපටය බැලූවම මට හරි කැමැත්තක් ඇතිවුණා ඇය ගැන. ඇයගෙ ලස්සන වගේම රඟපෑම් පවා ඉතා ආකර්ෂනීයයි. ඒ නිසාමයි ඒ කාලේ ඉඳන්ම ඇයව මගේ හිතට වැටුණේ.

 

ඇය රඟපෑ චිත‍්‍රපට අතුරින් වැඩිපුරම සිත්ගත් චිත‍්‍රපටය මොකක්ද?

ඇත්තටම එක චිත‍්‍රපටයක් කියලා නෑ. ඇය රඟපෑ චිත‍්‍රපට ඔක්කොටම ගොඩක් කැමතියි. ඒ අතරින් විජය කුමාරතුංග සමඟ රඟපෑ ”තුෂාරා” චිත‍්‍රපටයට ගොඩක් කැමතියි.

 

ඇය සමඟ ඔබටත් රඟපාන්න අවස්ථාව ලැබුණා නේද?

මම නළුවෙක් වුණාට පසුව මට තිබුණු එකම ආසාව සහ අරමුණ වුණේ කොහොමහරි මාලනී එක්ක චිත‍්‍රපටයක රඟපාන්න. නමුත් මම ගොඩක් කළේ දුෂ්ට චරිතනේ. ඒ නිසා මට අවශ්‍ය වුණේ ඇයත් එක්ක වීරයාගේ චරිතය කරන්න. ඉතින් ඒ ආසාවටම මා විසින්ම චිත‍්‍රපටයක් නිෂ්පාදනය කළා ”වීර උදාර” කියලා. ඒ චිත‍්‍රපටය නිෂ්පාදනය කරලා මම එතුමිය සමඟ ප‍්‍රධාන චරිතය කළා. ඒක මගේ ජීවිතේ ලබපු ලොකු ජයග‍්‍රහණයක්.

 

ඒ චිත‍්‍රපටය කරන අතරතුර සිදුවූ මතක සටහන් එහෙම තියෙනවද?

වීර උදාර චිත‍්‍රපටය කරලා අවසන් වෙද්දිම වගේ තමයි විජය කුමාරතුංග මහත්මයගේ මරණය සිදුවුණේ. ඉන්පසුවත් චිත‍්‍රපටයේ ගීතයක් පටිගත කරන්න තිබුණා. ඉතින් ඒ ගීතය පටිගත කරපු දවසෙ මට ලොකු මතකයක් තියෙනවා. ඒ දවසේ හරිම දුකක් ඇතිවුණා. එදා අප විජය කුමාරතුංගගේ මතකයන් තමයි කතා කර කර හිටියේ. ඒවා කතා කරද්දී වුණත් මාලනී ගොඩක් ඇඬුවා. එදා අපි ලොකු මාර ගහක් යටට වෙලා තමයි ඔහුගේ මතකයන් කතා කළේ. එහිදී කතා කළෙත් ඔහුගේ තිබුණු හොඳ ගතිගුණ පිළිබඳව.

 

රංගන ශිල්පිනියකගෙන් බැහැරව ගත්තොත් ඇය කොයිවගේ කෙනෙක්ද?

මාලනී ෆොන්සේකා කියන්නේ ඇත්තටම පුදුම හොඳ ගතිගුණ තියෙන කෙනෙක්. හොඳ මනුස්සකමක් තියෙනවා ඇය තුළ. එදා ඉඳන්ම අද වනතුරුත් ඒක වගේමයි. විශේෂයෙන්ම ඇයගේ රූපෙත් එක්ක ඕනෑම කෙනෙක් ඇයට බැඳෙනවා. ඇයට ඇගේ රූපෙට ආදරය නොකරපු කෙනෙක් නැති තරම්. ඒ චිත‍්‍රපට බලපු ඕනෑම කෙනෙකුට ඇයට හිත යනවා. ඒ හැමදේමත් එක්ක කොයි පැත්තකින් ගත්තත් ඇය ඉතා හොඳ, නිහතමානී තැනැත්තියක්. රංගනයේදී වුණත් අලූත් දෙයක් කරන්න යද්දී අවවාද කරනවා. ගුරුහරුකම් දෙනවා. ඇයත් එක්ක ඕනෑම චරිතයක් කරද්දී වුණත් ඉතා පහසුයි. සහය දෙනවා. උදව් කරනවා. එවැනි පිරිස් මේ කාලේ ගොඩක් අඩුයි.

 

ඇය බොහෝ චිත‍්‍රපට සංඛ්‍යාවක රඟපෑවා. ඒ චිත‍්‍රපටවල තිබුණු ගීත ජවනිකා අතරින් ඔබ සිත්ගත් ගීතය මොකක්ද කියලා කිව්වොත්?

මම ගොඩක් කැමති තුෂාරා චිත‍්‍රපටයේ

එපා වුණත් හෙට ඕනෑවේ

නාවෙත් ඔයාට තරහ හිතේ

ආඩම්බර වී තැවෙන්න වෙයි

හඬා නොරොක්වී හිදින්න වෙයි

උඩ පැන්නොත් බිම වැටෙන්න වෙයි

හිතා මතා මේ කියන්නෙ මා

හෝ හෝ තුෂාරා..   ගීතයට.

 

ඒ ගීතයේ විජය සමඟ මාලනී හරිම අපූර්ව රංගනයක් ඉදිරිපත් කරනවා. එහිදී ආදරය, හැඟීම් ඒ හැමදේම හරි ලස්සනට පිළිබිඹු කරනවා.

 

මාලනී ෆොන්සේකාගෙන් පසුව ඔබ කැමතිම නිළියෝ ගැන කිව්වොත්?

එතැනින් පසුව මම දිල්හානි අශෝකමාලාට, සංගීතා වීරරත්නට, අනෝජා වීරසිංහට සහ ස්වර්ණා මල්ලවආරච්චිට ගොඩක් කැමැත්තෙන් හිටියා. ඒ හැම කෙනාගේම රඟපෑම්වලට මම ගොඩක් ආසයි.

 

වර්තමානයේ තරුණ රංගන ශිල්පිනියන්ගෙන් ඔබේ සිත්ගත් කෙනා කවුද?

දැන් පරපුරේ මම ගොඩක්ම කැමති දිනක්ෂි ප‍්‍රියසාද්ට.

 

ඇයට කැමති වෙන්න හේතුව?

දිනක්ෂි පොඩි කෙල්ලෙක් වුණාට ඇය කරන චරිත හොඳින් කරනවා. මම ඇයත් එක්ක රඟපාලාත් තියෙනවා. ඇය හරිම නිහතමානී කෙනෙක්. ඇයව දකින ඕනෑම කෙනෙකුට ආදරයක් ඇතිවෙනවා. රඟපෑම වුණත් ඉතා හොඳයි. ඒ වගේම සහයෝගයෙන් වැඩ කරනවා. රඟපෑමේ කටයුතුවලට වුණත් හොද සහයක් ලබාදෙනවා. ඒ වගේම ඇයගෙ විශේෂම ලක්ෂණයක් තමයි හැම වැඩක්ම හරියට වෙලාවට කලාවට කරන එක. ඒ ගතිගුණවලට මම ගොඩක් කැමැතියි. කලා ක්ෂේත‍්‍රය තුළ වුණත් ඇය හොඳ නමක් දිනාගෙන තියෙනවා. මේ වෙද්දී ඉතින් මම හිතනවා ඇයට හොඳ ඉදිරි ගමනකුත් තියෙයි කියලා. ඒ වගේම මම කාංචනා මෙන්ඩිස්ටත් ගොඩක් කැමතියි. ඇය දැන් ලංකාවේ නැති වුණත් ඇයත් හරිම ආදරණීය කලාකාරිණියක්. ඒ වගේම ඉතා දක්ෂයි. මම ඇයගේ රඟපෑමටත් ගොඩක් ආසයි. ඕනෑම චරිතයක් කරන්න පුළුවන් කෙනෙක් කාංචනා.

 

කාංචනා රඟපාන නිර්මාණ අතරින් කැමතිම රංගනය දැක්කේ?

ඇය රඟපෑ හැම නිර්මාණයටම මම ගොඩක් ආසයි. ඒවා නම් වශයෙන් කියන්න බෑ. විශේෂයෙන්ම මම කැමතියි මමත්, අනෝජාත්, කාංචනාත් රඟපෑ ‘පුර සක්මන’ චිත‍්‍රපටයට. ඒ චිත‍්‍රපටයේ ඇයගේ චරිතය ඉතා හොඳින් කරනවා. ඇත්තමට මම ඒ චරිතය කරද්දී මට මගේ ගැනම වෛරයක් ඇති වුණා. ඒ තරමට ඇයගේ රංගනය විශිෂ්ටයි. එහිදී ඇය මගේ අතින් අනාථ වෙන සිදුවීමක් තියෙන්නේ. ඒ චිත‍්‍රපටයේ චරිතය ඇය ඉතා හොඳින් ඉදිරිපත් කළා.

එතකොට ඉන්දියාවේ රංගන ශිල්පිනියන්ගෙන් වැඩිපුරම කැමති.

ඒ කාලේ නම් මම ගොඩක්ම කැමති ජයා බහදුර්ට, ඇයගේ රඟපෑම් ඉතා විශිෂ්ටයි. ඒ වගේම එතැනින් පසුව මම කැමැත්තෙන් හිටියේ කාජල්ට, ඇයගේ රංගනයට සහ රූපයට මම ගොඩක් කැමැතියි.

 

ඔබේ ආදරණීයම ගායිකාව කව්ද කියලත් කියමු?

මම ගොඩක් කැමැතියි නන්දා මාලනී මහත්මියට. ඇයගේ හැම ගීතයකටම මම ගොඩක් ආසයි. ඒ වගේම ඇගේ කටහඬත් හරිම ආදරණීයයි. හරිම සුවිශේෂී හඬක් තියෙන්නේ.

 

එතකොට වර්තමානයේ

වර්තමානයේ නම් ගොඩක් කැමති උරේෂා රවිහාරිට. ඇයගේ හඬත් ඉතා ආදරණීයයි. මෑත කාලයේ සිනමාවට හරි ගිය එකම කටහඬ තියෙන්නේ ඇයගේ තමයි මම විශ්වාස කරන විදියට.

 

ධනු විජේරත්න