මාලදිවයින් මකුණා කටුනායකින් අවසන් ගමන් යයි


මාලදිවයින් ජාතිකයෙකු මෙරටට රැගෙන ආ පොත් පෙට්ටියක් පරික්ෂා කිරීමේදී එහි මකුණන් සහ මකුණු බිත්තර විශේෂයක් තිබූ බැවින් එම පෙට්ටය වහාම රේගු බාරයට ගෙන ගුවන්තොටුපොළ සත්ත්ව නිරෝධායන අංශයට බාර දුන් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය. මෙම මාලදිවයින් ජාතිකයා ඊයේ රාත‍්‍රියේ එම්රේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 651 දරණ ගුවන්යානයෙන් මෙරටට පැමිණ ඇත. එහිදී සහකාර රේගු අධිකාරී ධනුෂ්ක විජේසූරිය මහතා විසින් ඔහු රැගෙන ආ පෙට්ටියක් පරික්ෂා කර ඇත. එහි වෛද්‍ය විද්‍යාවට අදාල පොත් පත් පහළොවක් පමණ තිබී ඇති අතර එම පොත් සමග මකුණන් සහ මකුණු බිත්තර විශාල ප‍්‍රමාණයක්ද සිටිනු දැක ඇත. පසුව එම පෙට්ටිය වහාම රේගු බාරයට ගෙන වැඩිදුර පරික්ෂන සඳහා ගුවන්තොටුපොළ සත්ත්ව නිරෝධායන ආයතනයට බාර දී ඇත. සත්තව නිරෝධායන ආයතන නිලධාරීහු මෙම මකුනන් පිළිබඳව කරන ලද මූලික විමර්ශනයකින් අනතුරුව මකුනන් සහ බිත්තර විනාශ කළ බව රේගුව කියයි. මාලදිවයින් ජාතිකයාගෙන් ප‍්‍රශ්ණ කිරීමේදී මෙම පෙට්ටිය ශ‍්‍රී ලංකාවේ සිටින ඉන්දීය වෛද්‍යවරයෙකුට ලබා දීම සඳහා මාල දිවයිනේ දූපතක සිට මෙහි ගෙන ආ බව පවසා ඇත. නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන රන්, මුදල් සහ ඖෂධ ඇතුළු විවිධ භාන්ඩ මෙන්ම පොත් පත් වලින් පවා රටේ ආරක්ෂාවට තර්ජනයක් හෝ රටට හානි කර දෙයක් වෙත් දැයි දැඩි සෝදිසියෙන් සිටින ලෙස රේගු නිලධාරීන්ට දී අතර උපදෙස් නිසා මෙරට පරිසරයට සිදුවිමට ගිය තවත් ව්‍යසනයක් වලක්වා ගැනීමට හැකි වූ බවද ලෙස්ලි ගාමිණී මහතා කීවේය. මෙරට ගස් ලබු වගාව සහ දොඩම් වගාව විනාශ වූයේද ඉන්දියාවේ සිට ගෙන ආ මල් මාලා වල සිටි පිටිමකුණන් බෝවීම නිසා බවත් දැනගන්නට ඇත. යම් හෙයකින් මෙම මකුනන් සහිත පෙට්ටිය මුදා හැරියේ නම් තවත් තවත් එවැනිම විනාශයක් සිදුවීමට ඉඩ තිබුනේ යයිද රේගුව කියයි. මේ පිළිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට ගුවන්තොටුපොල රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ සත්තව නිරෝධායන ආයතන නිලධාරීහු පරික්ෂන සිදු කරති.