මාලදිවයින් ජනපතිගේ ඡන්ද පෙත්සම විසිවේ


මාලේහිදීය (රොයිටර්)
 
ඉකුත් මාසයේ පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලංගු යැයි මාලදිවයිනේ ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) තීන්දු කළේය. 
 
ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය අභියෝගයට ලක් කරමින් ජනාධිපති අබ්දුල්ලා යමීන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් යොමු කළේය. ජනාධිපතිවරණයේදී මැතිවරණ අක්‍රමිකතා, දූෂණ සහ වංචා සිදු ව ඇතැයි ජනාධිපති යමීන් එයින් සඳහන් කළේය. 
 
ජනාධිපතිවරණයේදී මැතිවරණ අක්‍රමිකතා, දූෂණ සහ වංචා සිදු ව ඇති බව ඔප්පු කිරීමට ජනාධිපති අබ්දුල්ලා යමීන් අසමත්ව ඇතැයි ඒකමතිකව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මාලදිවයිනේ ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය. 
 
දැඩි තීන්දු තීරණ ගනිමින් තරමක අධිකාරිවාදී පාලනයක් ගෙන ගිය බවට ජනාධිපති අබ්දුල්ලා යමීන්ට චෝදනා එල්ල වූ අතර හෙතෙම පසුගිය කාලයේදී තම දේශපාලන ප්‍රතිවාදීන් සිර ගත කළේය. ඒ අතර ඔහුගේ අර්ධ සොහෝයුරා ද විය.
 
සැප්තැම්බර් මස 23 පැවැති ජනාධිපතිවරණයෙන් අබ්දුල්ලා යමීන් පරාජයට පත්විය. ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයා වූ ඊබ්‍රහිම් මොහොමෙද් සෝලි ජනාධිපතිවරණයෙන් ජය ගත්තේය.
 
ජනාධිපතිවරණයේදී මැතිවරණ අක්‍රමිකතා, දූෂණ සහ වංචා සිදු ව අබ්දුල්ලා යමීන් ඔක්තෝබර් 10 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ඉදිරිපත් කළේය. 
 
“අධිකරණයට ඉදිරිපත් කර ඇති සාක්ෂිවල කිසිදු නෛතික බවක් නැහැ. මැතිවරණයේ නෛතික බව ප්‍රශ්න කිරීමට හෝ නෛතික හෝ ව්‍යවස්ථානුකූලව හෝ ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට ඉදිරිපත් කර ඇති කරුණු ප්‍රමාණවත් නැහැ” යැයි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මාලදිවයිනේ අගවිනිසුරු ආචාර්ය අහ්මෙද් අබ්දුල්ලා දිදි පැවැසීය. අගවිනිසුරුවරයා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම කැඳවා තිබිණි. 
 
අබ්දුල්ලා යමීන්ගේ ධුර කාලය නොවැම්බර් 17 වැනි දිනෙන් අවසන් වීමට නියමිතය. 
 
055