
මාර්ග සංවර්ධන අධිකාරිය සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව(කෝප්) වෙත කැඳවා තිබේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ශක්‍යතා අධ්‍යයනය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව කර ඇති විශේෂ විගණන වාර්තාව අවධානයට ලක් කිරීම සඳහා එම නිලධාරීන් කැඳවා ඇත.
මේ අතර ලබන 20 වැනිදා සිට සිට 24 වැනිදා දක්වා අඛණ්ඩව දින 4 ක් කෝප් කමිටුව පාර්ලිමේන්තුවේ දී රැස්වන බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා සදහන් කළේය.
ඒ අනුව, ඔක්තෝබර් 21 වැනිදා කැලණි ගගේ ජලය අපවිත්‍ර වීම සම්බන්ධව සිදුකළ පාරිසරික විගණන වාර්තාව සාකච්ඡා කිරීම සඳහා ජල සම්පාදන මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය සහ අදාළ පළාත්පාලන ආයතන ද කෝප් කමිටුව වෙත කැදවා තිබේ.
ඉන්පසු , ඔක්තෝබර් 22 වැනිදා ශ්‍රී ලංකා ව තුළ ඛනිජ තෙල් ගබඩා කිරීම සහ බෙදා හැරීම පිළිබඳව කළ විශේෂ ව්‍යාපෘතියේ වාර්තාව සාකච්ඡාවට ලක් කිරීම සඳහා ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙන බව මහාචාර්ය හේරත් මහතා පැවසීය.
මෙයට අමතරව ඔක්තෝබර් 23 වැනිදා පොල් සංවර්ධන අධිකාරිය, පොල් වගා කිරීමේ මණ්ඩලය සහ පොල් පර්යේෂණ ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවා ඇත.

