මාරක තුනකින් බේරෙන මෘදුකාංගයක්


දියවැඩියාව, හෘදරෝග, ආතරයිටිස් යමකුට වැළඳීමේ අවදානමක් තිබේදැයි වසර පහළොවකට පමණ පෙර දැනගත හැකි විද්‍යුත් උපකරණයක් නිපදවීමට හැකිවූ බව මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් සහ විදුලිය සංදේශ අංශයේ ආචාර්ය අංජුල ද සිල්වා මහතා පැවසීය.

අත්හදා බැලීම් සාර්ථකවී ඇතැයිද හේ කීවේය. මෙම රෝගවලට අමතරව තවත් රෝග කිහිපයක්ද එයාකාරයට දැනගැනීමට හැකියාව සම්බන්ධව පර්යේෂණ කටයුතු සිදු කරගෙන යයි. මෙවන් උපකරණයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

මහාචාර්ය වෛද්‍ය සරෝජ් ද සිල්වා මහතාගේ අදහසක් පදනම් කරගනිමින් උපකරණය නිපදවා ඇත.

නාඩි වායු පීඩන මාපකයක් හෝ ඇඟිල්ලක උෂ්ණත්වය මනින උපකරණයක් දෘඩාංගයකට හා මෘදුකාංගයකට සම්බන්ධ කිරීමෙන් පරිගණක ඔස්සේ ප්‍රතිඵලය ලබාගනී. මෙහිදී දෘඩාංගයෙන් සිදු කරනුයේ දත්ත එක්රැස් කිරීමයි. එසේ එක්රැස් කළ දත්ත වැඩිදියුණු කරනුයේ මෘදුකාංගයෙන්ය. නාඩි පීඩන මාපකය උෂ්ණත්වය මනින උපකරණය ඇතුළුව දෘඩාංගය මෘදුකාංගය යන සියල්ලම මෙහිදී නිපදවනු ලැබුවේ මොරටුව විශ්ව විද්‍යාලයේ විද්‍යුත් හා විදුලිය සංදේශ අංශයයි.

මෙම විද්‍යුත් උපකරණ භාවිතයෙන් රුධිර සංසරණයේ කාර්යක්ෂමතාවය මැන බැලීම තුළින් රෝග වැළඳීමේ අවදානම පිළිබඳව අනාවැකිය පළ කරන බව නිර්මාණ ශිල්පීන් පවසති.

ආචාර්ය අංජුල ද සිල්වා මහතාගේ අධීක්ෂණය සහ මඟ පෙන්වීම යටතේ ඉසුරු රාජකරුණා, චරිත් විතානගේ, සුනන්ද ගමගේ, කීර්ති ප්‍රියංකර යන අවසන් වසරේ උපාධි අපේක්ෂක සිසුන් කණ්ඩායමක් මෙම නිර්මාණය බිහි කළේය.

IMG_3708 IMG_3712