මානසික රෝගීන් පිළිබඳව සැබෑ අවබෝධයක් ගෙන ඒම අපගේ අරමුණ වුණා


2017-02-13-ent-86

කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ යන සොහොයුරන් දෙදෙනාගේ කුළුඳුල් සිනමා නිර්මාණය වන "ප්‍රේමය නම්" චිත්‍රපටය අන්තර්ජාතික චිත්‍රපට උලෙළවල් ගණනාවක් නියෝජනය කරමින් මෙම මස 17 වන දින සිට රිද්මා සහ සී.ඊ.එල්. මණ්‌ඩලයේ සිනමා ශාලා හරහා තිරගතවීමට නියමිතය. සත්‍ය කතාවක් ඇසුරෙන් මානසික සෞඛ්‍ය සහ මානව සම්බන්ධතා මත පදනම් වූ අනුවේදනීය ආදර කතාවකින් නිර්මාණය වන මෙම චිත්‍රපටය පිළිබඳ සහ වර්තමාන සිනමාව පිළිබඳ එහි සම අධ්‍යක්ෂ වින්දන ආරියවංශ %සාරවිට^ සමග මෙසේ සංවාදයක නිරත විය.

 

2017-02-13-ent-87"ප්‍රේමය නම්" චිත්‍රපටය අන්තර්ජාතික චිත්‍රපට උලෙළවල් ගණනාවක් තෝරාගෙන තිබෙනවා මුලින්ම ඒ ගැන යම් සඳහනක් කළොත් ?

ඔව්, ඇත්තටම පෙරදිග බීජීං සිට අපරදිග කැලිෆෝර්නියා දක්වා ජාත්‍යන්තර සිනමා උළෙලවල් 15ක් සඳහා ප්‍රේමය නම් චිත්‍රපටය නියෝජනය කර තිබෙනවා එහිදී අප සිනමා උලෙළවල් 7කදී හොඳම සිනමා නිර්මාණය වෙනුවෙන් තරග කරනු ලැබුවා. ඒ වගේම තමයි ලොව දැනට සක්‍රීයව පවතින දහස් ගණනක ජාත්‍යන්තර සිනමා උලෙළවල් අතුරින් ප්‍රමුඛතම මෙන්ම විශිෂ්ටතම ගණයේ උසස් පිළිගැනීමකට ලක්වූ සිනමා උලෙළ අතලොස්සෙන් කිහිපයකටම අපගේ චිත්‍රපටය තෝරා ගැනීම අයියාත් මාත් ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්. දැනට ආසියාවේ දැවැන්තම මෙන්ම උත්කර්ෂවත්ම සිනමා උලෙළ වන බීජිං ජාත්‍යන්තර සිනමා උළෙලේ %ප්‍රේමය නම්^ චිත්‍රපටය හොඳම චිත්‍රපටය සඳහා තරග වැදුනා. ඉන්දියාවේ කේරල සිනමා උලෙළ මෙන්ම ඉන්දියාවේ ප්‍රමුඛතම සිනමා උලෙළක් වන ඉන්දියාවේ ඉෆී (ගෝවා) චිත්‍රපට උලෙළටත් %ප්‍රේමය නම්^ තෝරාගැනීම සුවිශේෂයි. ඒ වගේම විශේෂයෙන් මේ චිත්‍රපට උළෙල 15න් 13කම ඒකම ශ්‍රී ලාංකික තෝරාගැනීම බවට %ප්‍රේමය නම්^ චිත්‍රපටය පත්වීමත් සුවිශේෂි කාරණයක් අපට මේ සෑම සිනමා උලෙළකදීම එක හා සමාන ප්‍රේක්ෂක ප්‍රතිචාර වගේම විචාරක ප්‍රතිචාරත් හිමිවුණා දැනට ආසියාව, යුරෝපය සහ උතුරු ඇමෙරිකා මහද්වීප 3ම නියෝජනය කරමින්, ඇමෙරිකාව, එංගලන්තය, ස්පාඤ්ඤය, ඉන්දියාව, චීනය ඇතුළු රටවල් බොහොමයක %ප්‍රේමය නම්^ චිත්‍රපටය සඳහා උණුසුම් ප්‍රතිචාර අපට ලැබුණේ.

 

චිත්‍රපටයේ කතා වස්තුව සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වූවක් බව සඳහන් කර තිබෙනවා නේද ?

ඔව්. එය මගේ ජීවිතය ඇසුරින් නිර්මාණය වූවක්. මෙහි එන සියලුම චරිත, සිදුවීම් සහ දෙබස් පවා සැබෑ ජීවිතයේ මා විඳි අත්දැකීම්. එය තමයි සිනමා නිර්මාණයක් බවට පත්කරලා ඒ හරහා ප්‍රේක්ෂකයාට ලබාදෙන්නේ.

 

එතකොට එම කතා වස්තුව සිනමා නිර්මාණයක් බවට පත්කිරීමෙන් ප්‍රේක්ෂකයන්ට පවසන දේ කුමක්ද ?

මට සහ මගේ සහෝදරයාට පෞද්ගලිකව වැදගත් වන දෙයක් ප්‍රේක්ෂකයාට වැදගත් වෙයි යයි සිතන්න තරම් මමත්වයක් නිර්මාණකරුවන් ලෙස අප දෙදෙනාටම නැහැ. නමුත් මාත් මගේ සොහොයුරාත් ඇතුළුව අප පවුල මුහුණ දුන් මේ තත්ත්වය චිත්‍රපටයක් බවට පත් කිරීම තුළින් සමාජගත වීම හරහා එය නරඹා කලා නිර්මාණයක් ලෙස රස විඳින්නට වගේම පොදුවේ මනුෂ්‍ය ජීවිතයට බලපාන ඉතාම වැදගත් කරුණක් ගැන අවබෝධාත්මක දැනුවත්වීමත් ප්‍රේක්ෂකයන්ට ලැබෙන බව අපි විශ්වාස කළ නිසයි අයියත් මාත් කුළුඳුල් සිනමා නිර්මාණයට ප්‍රස්තුතයක් ලෙස මෙම කතා පුවත තෝරාගත්තේ.

 

ඒ වගේම අපි චිත්‍රපටයෙන් බැහැරව කතා කළොත් වර්තමාන සිනමාව පිළිබඳ සහ මේ පවතින වාතාවරණය පිළිබඳ ඔබේ අදහස?

දේශීය සිනමාවේ සහ ක්ෂේත්‍රෙය් ඇති සියලුම ගැටලු අපටත් පොදුයි. ඒ සියල්ලටම මමත් අයියත් මුහුණ දෙනවා නමුත් අපි දෙදෙනාම උත්සාහ කරන්නේ ගැටලු පිළිබඳ සංවාදයේ යෙදෙමින් කාලයත් ශක්තියත් වැය කරනවා වෙනුවට අපේ චිත්‍රපට හරහා නිර්මාණකරණයෙන්ම ඒ අභියෝග ජයගැනීමටයි.

 

මේ මොහොතවන විට සිනමා ඩිජිටල්කරණය පිළිබඳව බොහෝවිට කතා බහට ලක්වෙනවා ?

ඔව්, සිනමා ශාලා ඩිජිටල්කරණය ඉතාම හොඳ දෙයක්, එය වර්තමාන සිනමා ක්ෂේත්‍රයේ පැවැත්මට අත්‍යවශ්‍ය කාලෝචිත වගේම ප්‍රගතිශීලි ඉදිරි පියවරක්. නමුත් ලොකයේ ඕනෑම භෞතික හෝ ජෛව ක්‍රියාවලියකම පරිණාමයක් සිදුවන්නේ, අනුක්‍රමයෙන්. සිනමා ශාලා ඩිජිටල්කරණයටත් එම සංසිද්ධිය පොදුයි. එම නිසා නාමික ඩිජිටල්කරණයට වඩා දේශීය චිත්‍රපට ක්ෂේත්‍රය නියෝජනය කරන සියලුම පාර්ශ්ව සැලකීමට ලක්කර ඔවුන් සැමටම සාධාරණයක් වෙන අයුරින් සිනමා ශාලා ඩිජිටල්කරණ ක්‍රියාවලිය කළොත්, එය සැබැවින්ම දේශීය සිනමා ක්ෂේත්‍රයේ උන්නතියට හේතු වේවි.

 

මෙම චිත්‍රපටය සඳහා දායකත්වය දැක්වූ පිරිස ගැන යම් සඳහනක් කළොත් ?

චිත්‍රපටයේ කතාව මමත් අයියා කල්පන ආරියවංශත් රචනා කළා වගේම සම අධ්‍යක්ෂණයෙන් දායක වුණා. නිෂ්පාදන දායකත්වය ලෙස අයියත්, ප්‍රේම් දිසානායක, අතුල මහවලගේ, සුජීව විජේසිංහත් විධායක නිෂ්පාදනයෙන් ප්‍රසන්න විතානගේත් සහාය අධ්‍යක්ෂණයෙන් දමින්ද ඩී. මඩවල රංගනයෙන් ශ්‍යාම් ප්‍රනාන්දු, සමනලී ෆොන්සේකා, සුරංගා රණවක, බුද්ධදාස විතානආරච්චි, චන්ද්‍රිකා හෙට්ටිආරච්චි, නිමල් ජයසිංහ, ප්‍රේමා පතිරාජ, ඇතුලු තවත් බොහෝ පිරිසක් දායක වෙනවා කැමරාකරණයෙන් ජාන් ෂෙන්බර්ගර්, තේමා ගීත රචනයෙන් සුනිල් ආරියරත්න සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ, සංගීත සැලැසුම්කරණයෙන් සුරේෂ් මාලියද්දේ ගායනයෙන් දුමාල් වර්ණකුලසූරිය යන අය දායකත්වය ලබාදෙනවා.

 

වින්දන ආරියවංශ

 

2017-02-13-ent-85
2017-02-13-ent-93
2017-02-13-ent-92
2017-02-13-ent-91
2017-02-13-ent-90
2017-02-13-ent-89
2017-02-13-ent-88