මානව හිමිකම් මහකොමසාරිස්ගෙන් ශ්‍රී ලංකාවට චෝදනා


(ඒ.එෆ්.පී ඇසුරිණි- 055)

සිවිල් යුද්ධය සමයේදී සිදු වූ බව කියන මානව හිමිකම් සහ යුද අපරාධ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ශ්‍රී ලංකා රජය අසමත් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු බදාදා (22) චෝදනා කළේය.

සිවිල් යුද්ධය සමයේ මානව හිමිකම් කඩකළ සොල්දාදුවන්ට දඬුවම් කිරීමට වත්මන් ආණ්ඩුව බිය වී ඇතැයි කොමසාරිස්වරයා පැවසීය.

තිස් හත් වසර කාලයක් මුළුල්ලේ පැවැති ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය 2009 වසරේ මැයි මාසයේදී අවසන් වූ බවත් එම කාලයේදී සිදු වූ බව කියන යුද අපරාධ සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (22) උණුසුම් වාග් සංග්‍රාමයක් ඇති වූ බව ද ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි.

“යුද අපරාධ හා මානව හිමිකම් කඩකළ පිරිස් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට, ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට දරුණු ගණයේ අපරාධ කළ පිරිස්වලට එරෙහිව දඬුවම් කිරීමට වත්මන් ශ්‍රී ලංකාව අඛණ්ඩව අසමත් වී තිබෙනවා. වත්මන් ආණ්ඩුව අපරාධ කළ ආරක්ෂක අංශ පිරිස්වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට වත්මන් අණ්ඩුවට නොහැකි වී තිබෙනවා. එසේත් නැතිනම් වත්මන් ආණ්ඩුව එවැනි පියවර ගැනීමට බියක් දක්වනවා” යැයි හුසේන් මහතා පැවැසීය.

යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ සහයෝගය ගත යුතු බව ද ඒ ඔස්සේ විමර්ශනවල අපක්ෂපාතී බව තහවුරු කළ යුතු බව ද සෙයිද් කුමරු එහිදි කීවේය.

විදෙස් විනිසුරුවරුන් අවශ්‍ය නැති බවත්, රාජ්‍ය නොවන සංවිධාන ආණ්ඩුව කළ යුත්තේ කෙසේ දැයි තමන්ට උපදෙස් දිය යුතු නැති බවත් තමන්ගේ සේනාංකවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් නැති බවත් මේ මස මුලදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.