මාධ්‍යවේදියාට පහරදීම ගැන නාවික හමුදාපතිගෙන් කරුණු විමසයි


හම්බන්තොටදී මාධ්‍යවේදියකුට පහර දීම ගැන කරුණු  විමසා නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට ලිපියක් යොමු කර ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.

මාධ්‍යවේදියාට පහරදීමේ සිදුවීම ගැන පරීක්ෂණ ආරම්භ කළ එම කොමිසම මේ වන විට පහර කෑ මාධ්‍යවේදියාගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
මානව හිමිකම් කොමිෂන් සභාවේ පරීක්ෂණය සඳහා රූපවාහිනී දර්ශන හා ඡායාරූපද උපයෝගී කර ගන්නා බව කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි. නාවික හමුදාපතිගේ කරුණු දැක්වීම ලද පසු විමර්ශනයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන සලකා බලන බව ද කොමිසම පවසයි.

හම්බන්තොට වරාය පරිශ්‍රයේ පැවැති වරාය සේවකයන්ගේ විරෝධයක් වාර්තා කිරීමට යෑමේදී ලංකාදීප ප්‍රාදේශීය මාධ්‍යවේදී රොෂාන් දිලිප් කුමාර පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී නාවික හමුදාපතිවරයාගේ පහරකෑමට ලක් විය.