මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට දෙදිනකට පසු පිළිතුරු ලැබෙයි


වකුගඩු ජාවාරමට හවුල් යැයි ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කර තිබූ වෛද්‍යවරුන් හය දෙනාගෙන් එක් වෛද්‍යවරයකු තම සංගමයේ සාමාජිකයකු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා අද පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.

එම වෛද්‍යවරයාගේ නම සඳහන් කර ඔහු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයකුදැයි මාධ්‍යවේදියකු පසුගිය සිකුරාදා විමසද්දී එහි මාධ්‍ය ප්‍රකාශක නවීන් ද සොයිසා ඊට පිළිතුරු නොදී ප්‍රශ්නය මග හැර ගියේය.

සිකුරාදා පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී වෛද්‍ය සොයිසා මාධ්‍ය මුලින් කීවේ කොළයක වෛද්‍යවරයාගේ නම ලියා දෙන්නේ නම් ඔහු සාමාජිකයකු දැයි විනාඩි 10න් ප්‍රකාශ කරන බවයි.

මාධ්‍යවේදියා නම ලියා දුන් පසු මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වේදියාට චෝදනා කරමින් පිළිතුරු දීමෙන් වැළකී සිටියේය.

ඔහු මාධ්‍යවේදියාට අපහාසාත්මක ලෙස හා මාධ්‍යවේදියා හෑල්ලුවට පත් වන ආකාරයෙන් කතා කිරීම ගැන ශ්‍රී  ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වෛද්‍යවරයාගේ ක්‍රියා කලාපය හෙළා දැක්කේය.