මාධ්‍ය ප්‍රකාශක නඩුවෙන් ඉවතට


ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් සාක්කි මෙහෙයවීම සඳහා අලුතින් නිලධරයකු පත් කිරීමට යයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා මෙතෙක් එම කටයුතු කළේය.

ගුණසේකර මහතා සාක්කි මෙහෙයවීම ගැන නීතිඥවරුද උසාවියේදී පසුගියදා විරෝධය පළ කළහ.

ඒ අනුව පොලිස්පති විසින් ඒ සඳහා පොලිස් නීති කොට්ඨාසයේ නිලධාරියකු පත් කරනු ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සාක්කි මෙහෙයවීම සම්බන්ධයෙන් මතුවූ විරෝධතා ඊට හේතුවූ බවත් කියති.

රුවන් ගුණසේකර මහතා සාක්කි විභාග කිරීම සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා විරුද්ධ වූ අතර ඊට පිළිතුරු ලෙස ගුණසේකර මහතා කීවේ මහේස්ත්‍රාත් අධිකරණයේ මරණ පරීක්ෂණයේ සාක්කි විභාගයට පොලිස්පති විසින් තමා පත් කළ බවයි.

මරණ පරීක්ෂණයක දී පොලිසිය සිදුකරනුයේ අධිකරණයට සහාය වීම පමණක් බවත්, මෙම සාක්කි විභාගයේ දී අධිකරණයට සහාය වීමට පත් කර ඇත්තේ තමා බවත්, නොඇසිය යුතු ප්‍රශ්නයක් තමා අසන්නේනම් එය වැළැක්වීමට අධිකරණයට හැකියාව ඇති බවත් ඔහු කීවේය.

නීතීඥවරුන්ගේ හා පවුලේ උදවියගේ තර්කය වූයේ මරණය ගැන මුල සිටම පොලිසියේ පැත්තට ප්‍රකාශ නිකුත් කර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සාක්කි මෙහෙයවීම සදාචාරාත්මක නැති බවයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කීවේ සාක්කි විභාගයේ ඉදිරි කටයුතු පොලිස්පති විසින් පත් කරන වෙනත් නිලධරයකු කරනු ඇති බවයි.