(හර්ෂණ තුෂාර සිල්වා, බිඟුන් මේනක ගමගේ, තරිඳු ජයවර්ධන සහ හසිත රංග ගුණතිලක)
ජනතාව සටන් කර ඇති කළ මාධ්‍ය නිදහස නැති කළ හැක්කේ මාධ්‍යයට පමණක් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී අද (28) පස්වරුවේ ප්‍රකාශ කළේය.
අපහාස කිරීමට ඔබට ඇති අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් මම මගේ අන්තිම ලේ බිංඳුව වනතෙක් සටන් කරනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා එහිදී පැවැසීය.
මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබඳ කොළඹ ප්‍රකාශනයට වසර 20ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුව නිල වශයෙන් ආරම්භ කිරීම වෙනුවෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේ පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව සඳහන් කළේය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.
“අපි ආපසු හැරී බැලුවොත් අප සමඟ මාධ්‍ය නිදහස වෙනුවෙන් සටන් කළ බොහෝ දෙනෙක් මෙහි ඉන්නවා. සමහරු අද අපිත් එක්ක නැහැ. ඔවුන් මාධ්‍ය නිදහස වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත පූජා කළා. ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැළිගොඩ, උදයන් පුවත්පතේ ජනමාධ්‍යවේදීන් ඝාතනය ලක්වුණා.
ඔවුන්ගේ පරීක්ෂණ සම්බන්ධයෙන් මොකද වෙන්නේ කියලා ඔබේ සභාපතිවරයා මගෙන් ඇහුවා. මාධ්‍ය අපට නින්දා අපහාස කරද්දි මාධ්‍ය අප සතුරන් ලෙස දකිද්දි ඒ පරීක්ෂණ කරන්නේ කෙසේ දැයි ඒ පරීක්ෂණ ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරියෙක් මා සමඟ පවසා සිටියා. ඔබට අවශ්‍ය නම් මා සාක්ෂි ලබා දෙන්නම්. මාධ්‍ය සම්බන්ධ අමාත්‍යවරයාත් මෙතැන ඉන්නවා. ඒ ගැන මේ සමුළුව පැවැත්වෙන ඉදිරි දින කිහිපයේදී ඒ ගැන කතා කරන්න පුළුවන්.
අපි සෑම විටම මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනි සිටිනවා. එම මූලධර්මය ආරක්ෂා කිරීම වෙනුවෙන් අපි සෑම විටම ක්‍රියාත්මක වෙනවා. ඒ බව අද හොඳට පෙනෙන්න තියෙනවා. මාධ්‍ය තුළින් සෘජුව හෝ වක්‍රාකාරව වැඩියෙන්ම නින්දා අපහාසයට ලක් වෙන්නේ මම. අපහාස කිරීමට ඔබට ඇති අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් මම මගේ අන්තිම ලේ බිංඳුව වනතෙක් සටන් කරනවා යැයි මා ඔබට කියන්නට කැමැතියි.
සාමාන්‍යයෙන් මාධ්‍ය ක්ෂේත්‍රයේදී පූජනීය ලෙස සලකන්නේ කරුණු සහ සිදුවීම්. අදහස් දැක්වීම් නොමිලේ ලැබෙන්නක් ලෙස තමයි සලකන්නේ. එහෙත් අද එය වෙනස් වෙලා. අදහස් දැක්වීම් අද පූජනීය දෙයක් බවට පත්වෙලා. කරුණු හා සිදුවීම් නොමිලේ අවහිරයක් නැතිව ලැබෙන්නක් බවට පත්වෙලා.‘‘
ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා