මාධ්‍ය තහනමට ගාලු විරෝධය


දකුණු පළාත් සභාව මාධ්‍ය මර්ධනයකට උත්සාහ ගනිමින් සිටින බව පවසමින් එයට විරෝධය පෑ ගාල්ල දිස්ති‍්‍රක් මාධ්‍යවේදීන් පිරිසක් අද ගාල්ල කලේගානේ පිහිටි දකුණු පළාත් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූහ.මාධ්‍යවේදීන් දෙදෙනකු විසින් ජාතික පුවත්පතකට ලියන ලද ලිපියක් නිවැරදි නොවන බව පවසමින් පළාත් සභා ලේකම් වරයා එම මාධ්‍යවේදීන් දෙදෙනා පරීක්ෂණයකට පළාත් සභාවට කැඳවා ඇතැයි මාධ්‍යවේදීහු චෝදනා කරති. මාධ්‍යවේදීන් පවසන්නේ එලෙස මාධ්‍යවේදීන්ට පරීක්ෂණ පැවැත්වීම ට සභාවට අයිතියක් නැති බවයි. මාධ්‍යයක වැරදි තොරතුරක් සඳහන්ව ඇත්නම් එය නිවැරදි කිරීමේ ක‍්‍රමවේදයක් තිබියදී මෙලෙස මාධ්‍යවේදීන් කැඳවා පරීක්ෂණ පැවැත්වීම මාධ්‍ය මර්ධනය කිරීමටත් තම අභිමතයට අනුව හැසිරවීමටත් ගන්නා උත්සාහයක් බව මාධ්‍ය සංවිධාන පෙන්වාදෙයි.
පළාත් සභාවේ මන්තී‍්‍රවරයකු හා නියෝජ්‍ය සභාපතිවරයා කරන ලද කතාවලින් මාධ්‍යවේදීන් හෑල්ලූවට ලක්කරන ලද බවත් ඔවුන් තෝරාගත් මාධ්‍යවේදීන්ට පමණක් පළාත් සභාව ආවරණය කිරීමට කැඳවීම මාධ්‍යය නිදහස බලපෑම් කිරීමක් බවත් මාධ්‍ය සංවිධාන පවසයි.
දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය මේ උද්ඝෝෂණය සංවිධානය කැර තිබිණි.
උද්ඝෝෂණය පැවැත්වෙන ස්ථානයට දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති චම්ලි විතානාච්චි මහතා පැමිණියේය. මේ අවස්ථාවේ මාධ්‍යවේදීන් සහ නියොජ්‍ය සභාපතිවරයා සමග පැවති සාකච්ඡුාවකදී තීරණය වූයේ මාධ්‍ය නියෝජිතයන් පිරිසක් හා පළාත් සභාවේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයන් පිරිසක් අතර සාකච්ඡාවකින් පසු මේ ගැටළුව විසඳාගත යුතු බවයි.