
(කාංචන කුමාර ආරියදාස)
මාතලේ දිස්ත්‍රික්කයේ පැවැති කාලගුණික තත්ත්වය හේතුවෙන් ගත වූ පැය විසි හතර කාලයේ පුද්ගල මරණ දහයක් වාර්තා වී පුද්ගලයන් දෙදෙනකු අතුරුදන්ව පුද්ගලයන් 1040 ක් අවතැන්ව ඇතැයි මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම් .එස් .කේ වික්‍රමනායක මහතා පැවසීය.
බෝවතැන්න ඉබ්බන්කටුව කලා වැව ජලාශවල යම් මට්ටමකින් ජල ප්‍රමාණය අඩුවක් පැවතිය ද කණ්ඩලම ජලාශයේ ජලය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව බෝතැන්න ජලාශ භාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා පැවසීය.
කණ්ඩලම ජලාශයෙ වාන මතින් වාහන ගමන නවතා තිබුනද අණ නොතකා බස් රථ ධාවනය කිරීම බරපතල ප්‍රශ්නයක් බවත් ඒ මහතා සඳහන් කළේය.
ජීවිත අනතුරු අවම කර ගැනීම සඳහා දැඩි වෙහෙසක් තමන් ඇතුළු කාර්යය මණ්ඩලය දරමින් සිටියදී කිසිදු ඉවක් බවක් නොමැතිව ඇතැම් අය ක්‍රියා කිරීම හේතුවෙන් ජීවිත අවදානමක් පවතින බවද හෙතෙම පෙන්වා දුන්නේය.
උදෑසන වන විට කණ්ඩලම වැවේ විශාල ජල ප්‍රමාණයක් කලා වැව ටීම ගලා බසින බව ඒ මහතා පෙන්වා දුන් අතර ඇතැම් කණ්ඩායම් ජලය නැරැඹීම සඳහා පැමිණෙන බවද පෙන්වා දුන්නේය.
දඹුල්ල මහියංගණය ප්‍රධාන මාර්ගයේ කුමාර ඇල්ල ප්‍රදේශයෙන් අඹන් ගඟ හරහා වැටී ඇති පාලම් දෙකම ගිලා බැස මාර්ගය සම්පූර්ණයෙන්ම කඩාගෙන ජලයට ගසාගෙන ගොස් තිබීම නිසා එහි ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ.
ඊට අමතරව මොරගහකන්ද ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම මොරගහකන්ද ජලාශය ඉදිරිපිට දී කඩාගෙන යෑම හේතුවෙන් ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම නැවතී ඇත. මේ හේතුව නිසා විල්ගමුව සහ ලග්ගල ප්‍රදේශවලට ගමන් කිරීමට කිසිදු ක්‍රමවේදයක් නොමැති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
මාතලේ දිස්ත්‍රික්කයේ වැඩිම වර්ෂාපතනය සහ ආපදා තත්ත්වයන් රත්තොට පොලිස් වසමෙන් වාර්තා වන බවත් ඒ අනුව මරණ නවයක් එම ප්‍රදේශයෙන් වාර්තා වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ලග්ගල ප්‍රදේශයෙන් එක මරණයක් මෙන්ම රත්තොට ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු අතුරුදහන් වීම වාර්තා වී ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය නාවූල විල්ගමුව දඹුල්ල යටවත්ත ආදී ප්‍රදේශවල රැඳවුම් මධ්‍යස්ථාන විසි නවයක පුද්ගලයන් 1040 ක් මේ වන විට රැඳවුම් මධ්‍යස්ථානවල රැඳී සිටින බවද සඳහන් කළේය.




