( මහේෂ් කීර්තිරත්න සහ රවීන්ද්‍ර විරාජ්)
මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කරන මාතලේ, පල්ලේපොල , ඇහැලේපොල ප්‍රදේශයේ පදිංචි විධායක ශ්‍රේණියේ නිලධාරියෙකුට කොරෝනා - 19 වයිරසය ආසාදනය වී ඇති බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂිකා වෛද්‍ය සේපාලි වික්‍රමතිලක මහත්මිය අද (06) දා පැවසුවාය.
ඔහුට ඇති වූ අසනීප තත්වය හේතුවෙන් මාතලේ මහ රෝහලෙන් ප්‍රතිකාර ගෙන පසුව මහනුවර මහ රෝහලේ දී පී.සී.ආර්. පරීක්‍ෂණයට ලක් කළ බවත්, එහිදී වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවත්, එම පුද්ගලයා මේ වන විට වැලිකන්ද මූලික රෝහල වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව ද පැවසුවාය.
මොහුගේ බිරිඳ, දරුවන් දෙදෙනා ද මේ වන විට ඔවුන්ගේ නිවෙස් තුළම මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ අධීක්‍ෂණය යටතේ ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවත්, වයස අවුරුදු 15 ක් වන පිරිමි දරුවාට ද සෙම්ප්‍රතිශ්‍යා රෝගී තත්වය ඇති නිසා පී.සී.ආර්. පරීක්‍ෂණවලට ලක් කරන බවත්, මොවුන් ඉගෙනුම ලබන මාතලේ සහ මහනුවර පිහිටි විද්‍යාල දෙකෙහි අධ්‍යාපන බලධාරීන් වෙත මේ පිළිබඳව දන්වා ඇති බවත්, ඉදිරි අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සියලු පියවර ගෙන ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරිය වැඩිදුරටත් පැවසුවාය.
මෙම අය ආශ්‍රය කළ පුද්ගලයින්ට යම් උණ රෝගයක් හෝ වෙනත් අසනීප තත්වයකින් පෙළෙන්නේ නම් වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් දැනුවත් කර අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට වහාම රජයේ රෝහල් වෙත යොමුවෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරිය පැවසුවාය.

