මහින්ද‍ සන්නසකින් අලි පැටව් 6 දුන් හැටි උසාවිය අහයි


හිටපු ජනාධිපතිවරයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හය දෙනෙකු වෙත සන්නස් පත‍්‍ර මගින් ලබාදී ඇති අලි ඇතුන් කෙසේ ලැබුණේ දැයි යන්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (15) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත දැනුම් දුන්නේය.

මෙම සතුන් ලැබුණ ආකාරය සහ සත්‍ය වශයෙන්ම මෙම සතුන් වනජීවි දෙපාර්තමේන්තුව වෙතින් හෝ ජාතික සත්වෝද්‍යානය මගින් හෝ විදේශීය රටකින් ලැබුණා ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

වනජීවි දෙපාර්තමේන්තුව විසින් පවත්වාගන යනු ලැබූ අලි පොත වෙනස් කිරීමේ සිද්ධියට අදාළ නඩුව යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

සැකකරුවන් වූ සමරප්පුලිගේ නිරාජ් රොෂාන් නොහොත් අලි රොෂාන්, වනජීවි දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ලියාපදිචි කිරීමේ විෂය භාරව කටයුතු කළ ලිපිකාරිනියක වූ පි‍්‍රයංකා සංජීවනි සහ වනජීවි දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ (නීති) පැස්කුවන් ෆොන්සේකාලාගේ උපාලි පත්මසිරි අධිකරණයේ පෙනී සිටියහ.

වනජිවි දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේදී සිදුවී ඇති අක‍්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන අතර සන්නස් පත‍්‍ර මගින් බලය පැවරූ අලි ඇතුන් කිහිප දෙනෙකු ද ලියාපදිංචිය සදහා අයදුම්පත් වනජීවි දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් වී ඇතැයි රහස් පොලීසිය බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මෙම අයදුම්පත් අතර පාරේ යාය, අත්තනයාල, මැදමුලූන පදිංචි එන්. වන්නිආරච්චි (හිටපු ජනාධිපතිවරයාගේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරී), අංක 26, ඒ, පැගිරිවත්ත මාවත, මිරිහාන, නුගේගොඩ පදිංචි එන්. ජී. රාජපක්ෂ (හිටපු ආරක්ෂක ලේකම්වරයා), බෙල්ලන්විල රජමහා විහාරය බෙල්ලන්විල විමලරත්න හිමියන්, කන්ඩලම වලව්ව, කණ්ඩලම පදිංචි නිලන්ති බංඩාර වීරසිංහ, ශී‍්‍ර ලංකා පාබල හමුදාව,පනාගොඩ ලිපිනයෙහි සේනාවිධායක සහ පාලටුව, මහ ඕවිට, මැදමුළුන පදංචි උපුල් දිසානායක යන වන බවද එම වාර්තාවෙන් රහස් පොලීසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර ඇත.

හරිස්චන්ද්‍ර නම්  හමුදා  නිලධරයකු  විසින් පින්නවල අලි අනාථාගාරයට  භාරදුන් පැටවුන් දෙදෙනා අතුරින් එක් සත්වයකු වනජීවි දෙපාර්තමේන්තුවේ ගොනු අංක 315 යටතේ ලියාපදිංචි වී ඇති බවත් අනෙක් සත්වයා කිසිදු ලේඛනයක් ලියාපදිංචි කැර නැති බවත් රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

ඉකුත් 2016. 02. 10 දින අධිකරණයෙන් ලබාගත් නියෝග ප‍්‍රකාරව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හීලෑ අලි ඇතුන් ලියාපදිංචි කිරීම්වලට අදාලව දැනට හදුනාගෙන සිටින ව්‍යාජ ලියාපදිංචි කිරීම් යටතේ භාරයේ තබාගත් අලි ඇතුන් 13 දෙනෙකු වනජීවි භාරයට ලබාගත් බව මෙහිදී රහස් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය. මේ වන විට සතුන් 31 දෙනෙකු භාරයට ගෙන ඇති බවත් තවත් හතර දෙනෙකු පමණක් භාරයට ගැනීමට ඇති බවත් රහස් පොලිසිය සදහන් කළේය.

අලි පැටවුන් සන්තකයේ තබාගෙන සිටි අය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥවරුන් මහෙස්ත‍්‍රාත් වෙත කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කරනු ලැබුවේ තමන් දරුවන් ලෙසින් රැකබලාගත් අලිපැටවුන් බැලීමට අවස්ථාවක් ලබාදෙන ලෙසට නියෝගයක් ලබා දෙන ලෙසය. කරුණු සලකා බැලූ මහේස්ත‍්‍රාත් සෑම සදුදා සහ සිකුරාදා දිනකම උදේ 10 ත් 12 ත් අතර කාලයේදී මෙම අලි ඇතුන් බැලීම සදහා අවසර ලබා දෙන ලෙසට වනජිවි සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් එල්. ජේ. එම්. ජි. චන්ද්‍රසිරි බණ්ඩාර මහතා වෙත නියෝගයක් නිකුත් කළේය. එසේම, අධිකරණයේ දැනගැනීම පිනිස මේ වන විට අලි ගහනය කෙසේ වේද? අලින් කොපමණ ප‍්‍රමාණයක් සිටිත් ද? වසරක අලීන් කී දෙනෙකු උපදිනවාද? මැරෙනවාද? අලින් නිසා මිනිසුන් කී දෙනෙකු මියයනවාද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් ද ඉදිරිපත් කරන ලෙසට වනජීවි අධ්‍යක්ෂවරයාට නියම කළේය. සිද්ධියට අදාළ නඩුව ලබන 30 වැනි දා ට යළි කැදවිමට නියමිතය.