මහින්දගේ පඩියෙන් රුපියල් 3000 ක් තවමත් ශ්‍රීලනිපයට යනවා


(විනීතා එම් ගමගේ)
            
මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු වේතනයෙන් රුපියල් 3000 ක් මාසිකව අඩුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරමුදලට යන බවත් ඔහු වෙනත් පක්ෂයක සාමාජිකයකු නම් එසේ නිදහස් පක්ෂයට මුදල් යවන්නේ කුමකට දැයි විමසිය යුතුව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා ප‍්‍රකාශ කළේය.

 
තමන් දේශපාලනයට පැමිණි පක්ෂයේ සාමාජිකත්වය ආරක්ෂා කරගනිමින්  ඕනෑම කෙනෙකුට තවත් දේශපාලන සංවිධාන හා ගනුදෙනු කළ හැකි යැයි පැවසූ සෙනෙවිරත්න මහතා ඊට නීතියෙන් කිසිම අවහිරයක් බාධාවක් නැතැයි ද පැවසීය. 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස  පාර්ලිමේන්තුවට ආ ඔහු තවමත් එහි මන්ත‍්‍රීවරයෙක් යැයි ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාමුසකවරයා ඔහු බවත් සෙනෙවිරත්න මහතා කීය.


පාර්ලිමේන්තුවේ දී එක්සත් ජාතික පක්ෂය කටයුතු කළේ ආණ්ඩු පක්ෂයට තිබෙන වටිනාකම නැතිවී යන ආකාරයෙන් යැයි කී සෙනෙවිරත්න මහතා මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකයා ලෙස කථානායකවරයා විසින් පිළිගැනීමෙන් පසුවත් සභානායකවරයා විසින් කිසි වැඩකට  නැති යෝජනාවක් ගෙන ආ බවත් සඳහන් කළේය. 


එක්සත් ජාතික පක්ෂයට ඡන්දයක් ඉල්ලිය නොහැකි නම් එහි හොරණෑව වූ ජනතා විමුක්ති පෙරමුණට හෝ කියා ඡන්දයක් ඉල්ලන්නැයි තමන් යෝජනා කරන බවද සෙනෙවිරත්න මහතා කීය.


ජෝන් සෙනෙවිරත්න මහතා මේ අදහස් පළ කළේ බොරැල්ල ඇන් ඇම් පෙරේරා මධ්‍යස්ථානයේ අද (19) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. 


ශ්‍රීලනිපය කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ගත නොවන බවත් ශ්‍රීලනිපයේ සිට ආණ්ඩුවට එකතුවන කිසිවෙකුටත් තනතුරු නොදෙන බවත්  ජනාධිපතිවරයා කියා ඇති බවත් කී අලූත්ගමගේ මහතා එජාපයට සහය දෙන සියලූ දෙනා මේ අවස්ථාවේ කරන්නේ මහා පාවාදීමක් යැයි ද පැවැසීය. 


අලූත් ව්‍යවස්ථාවක් ගෙන එන්නට, ඉඩම් පනත සම්මත කරගන්නට, බරපතල ගිවිසුම් ගෙන එන්නට සුදානම් වන රනිල් වික‍්‍රමසිංහ මහතාට මෙයින් ලැබෙන්නේ සහයක් යැයි  පැවසූ මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායක ධුරයට පැමිණෙනවාට බියෙන් සිටින්නේ හකීම් සම්බන්ධන් හා කිරිඇල්ල යන මහත්වරු යැයි ද ප‍්‍රකාශ  කළේය.