මහින්දගේ ආරක්ෂාවේ 500 ක් යළි යුද හමුදාවට


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වෙන්කර සිටි 500 ක යුද හමුදා ආරක්ෂක බල ඇණියක් ඉවත් කර ඇතැයි රජයේ ආරංචි කියයි.

පොලිසියේ 130 ක බල ඇණියක් ඔහුගේ ආරක්ෂාවට යොදවා ඇත.

ඔහුට ඊට වඩා අතිරේක පිරිස් අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා ජාතික ආරක්ෂක කවුන්සිලයේ තක්සේරු වාර්තාවක් තිබිය යුතු බවද දැනගන්නට ඇත.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අරක්‍ෂාවට යුද හමුදාව විසින්  සෙබළුන් හා  නිලධාරීන් 102  ක් අනුයුක්ත කර ඇති බවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා කියයි.

එම නිලධාරීන්ගෙන් 80 දෙනකු ආරක්‍ෂාව සදහාත්  22 දෙදෙනකු පරිපාලනමය කටයුතු සඳහාත්  යොදා ඇතැයි එහි සඳහන්ය.

‘මෑතක සිට වර්තමාන රජය පුනරුත්තාපනය නොකළ දරුණු එල්.ටී.ටී.ඊ රැඳවියන් නිදහස් කිරීම නිසා වසර 30 ක යුද්ධය අවසන් කළ රාජ්‍ය නායකයා ලෙස මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ජීවිතයට විශාල තර්ජනයක් එල්ල වී ඇත. කොටි සංවිධානයේ සාමාජිකයන් 11,000 කට වැඩි ගණනක් පුනරුත්තාපනය කර රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව විසින් නිදහස් කරනු ලැබූ අතර දිගටම රදවාගෙන සිටියේ පුනරුත්තාපනය කළ නොහැකි දරුණු ගණයේ ත්‍රස්තවාදීන් පමණි. මේ ආණ්ඩුව නිදහස් කරන්නේ මේ අයයි.  මෙවැනි තත්වයක් යටතේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාව සදහා දැනට ලබා දී තිබෙන හමුදා නිලධාරීන් සංඛ්‍යාවට අමතරව තවත් සෙබලුන් හා නිලධාරීන් අනුයුක්ත කිරීම ආණ්ඩුවේ වගකීම වේ.‘ යැයි එම නිවේදනයේ සඳහන්වේ.

 

අලුත් තත්වය යටතේ, මහින්ද රාජපක්‍ෂ මහතාගේ පමණක් නොව යුද්ධයේ ප්‍රධාන කාර්යභාර්යක් ඉටුකල සෙසු හමුදා හා සිවිල් නිලධාරීන්ගේ ද ආරක්‍ෂාව ගැනත් සුදුසු පියවර ගැනීම ආණ්ඩුවේ යුතුකම බව රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයෙන් අවධාරණය කරයි.