(මනෝප‍්‍රිය ගුණසේකර)
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි හා නීතීය හමුවේ බලරහිත අන්දමට පත් කරන ලද මඩකලපු මහාධිකරණ විනිසුරු රාමනාදනන් කන්නන් මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස අධිකරණ සේවා සංගමය (විනිසුරුවරුන්ගේ සංගමය) ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
කොළඹ දිසා අධිකරණයේ පැවැත්වු අධිකරණ සේවා සංගමයේ හදිසි මහා සභා රැස්වීමේදී ගන්නා ලද ඒකමතික තීරණයකට අනුව අධිකරණ සේවා සංගමයේ ලේකම් මොහොමඞ් මිහාල් මහතාගේ අත්සනින් නිකුත් කළ ලිපියක් මඟින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් මෙම ඉල්ලීම කර ඇත.
රාමනාදනන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරුධුරයට පත් කිරීම මුලසිටම නීතීය හමුවේ බලරහිත හා අවලංගු වන හෙයින් කන්නන් මහතා වහාම එම ධුරයෙන් ඉවත් කළයුතු බව සමස්ථ පහළ අධිකරණ විනිසුරුවරුන්ගේ ඒකමතික තීරණය වී ඇති බවද අධිකරණ සේවා සංගමයේ ලේකම් මොහොමඞ් මිහාල් මහතා ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තම සංගමයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීම සුදුසු නම් ඒ සඳහා ජනපතිවරයා හමුවීමට තම සංගමයේ නිලධාරීන්ට අවස්ථාවක් දෙන ලෙසද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
පෞද්ගලිකව නීතීඥ වෘත්තීයේ යෙදුණු රාමනාදනන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරු ධුරයේ කටයුතු කිරීමෙන් යළි පිරිමසාලිය නොහැකි හානියක් සිදුවිය හැකි බව එම ලිපියෙන් පෙන්වා දෙයි.

