මහා බෝධිය වන්දනාකරුවන්ගෙන් පිරෙයි


ශ්‍රී ලංකාවෙන් දඹදිව වන්දනාවට පැමිණි කිසිවකුටත් කරදරයක් සිදුවී නැතැයි චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානයේ කලවානේ මහානාම හිමියෝ කියති.

‘සාමාන්‍යයෙන් දවසකට ලංකාවෙන් දෙතුන්සීයක් එනවා. ඒ හැමටම නවාතැන් ඇතුළු පහසුකම් සළසනවා. පිටස්තර නවාතැන් පොළවලට වඩා තමිල්නාඩු රජයෙන් මහා බෝධියේ ආරක්ෂාව සළසලා තිබෙනවා.‘

වන්දනාවේ පැමිණි විශ්‍රාල පිරිසක් මේ දිනවල මහාබෝධි මධ්‍යස්ථානයේ සිටින බව ද, ඔවුනට කිසිදු කරදරයක් හිරිහැරයක් නැති බව ද, වන්දනාමාන කටයුතු සිත්සේ කර ගත හැකි බව ද ඒ හිමියෝ කියති.

කිලෝමීටර් සිය ගණනක් ඈත පෙදෙස්හි වී යැයි කියන දේ මාධ්‍ය මගින් උලුප්පා පෙන්වා ඇතත් මහාබෝධියේදී කිසිවකුටත් කිසිම කරදරයක් වී නැතැයි ද ඒ හිමියෝ පවසති.

තමිල්නාඩු පොලීසියත් මධ්‍යම රජයත් මහාබෝධියේ ආරක්ෂාව තර කර ඇති බව ද, තමිල්නාඩු පොලිස් කොමසාරිස්වරයා පෞද්ගලිකවම මහාබෝධියට පැමිණ බව ද, මහාබෝධි රාජකාරිය විශේෂ රාජකාරියක් සේ සළකා ක්‍රියා කරන ලෙස පොලීසියට උපදෙස් දුන් බව ද ඒ හිමියෝ කියති.

වන්දනාකරුවන්ගේ නවාතැන්, ආහාර හා බෙහෙත් ආදී පහසුකම් ද එහි ඇති බවත් මහානාම හිමියෝ පවසති.

බානගල උපතිස්ස ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති හිමියෝ ද, තීනියාවල පාලිත නුගේගොඩ නාලන්දාරාමාධිපති හිමියෝ ද එහි කටයුතු අධීක්ෂණය කරති.

(ඡායාරූප කලවානේ මහානාම හිමි)