(නිමල කොඩිතුවක්කු)
මහර බන්ධනාගාරයේ තත්ත්වය සොයා බැලීම සඳහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද(02) එම පරිශ්‍රය වෙත නිරීක්ෂණ චාරිකාවකට එක් වූවද ඔවුන්ට බන්ධනාගාරය තුළට යාමට අවසර ලබා දී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂණ වාර්තා සිදුවන බැවින් මහර බන්ධනාගාර පරිශ්‍රය තුළට ඇතුළුවීමට එහි ආරක්ෂක අංශ අවස්ථාව ලබා නොදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු, නලින් බණ්ඩාර, මුජුබර් රහුමාන්, දිලිප් වෙදාරච්චි, ජේ. සී. අලවතුවල, රෝහිණී කවිරත්න, හෙක්ටර් අප්පුහාමි ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.
සියලූ ආරක්ෂිත ඇඳුම් කට්ටල සහිතව මෙම මන්ත්‍රීවරුන් පිරිස අද මහවැසි මධ්‍යයේ මහර බන්ධනාගාරය වෙත පැමිණියේය.
මහර බන්ධනාගාර පරිශ්‍රය තුළ රස පරීක්ෂණ කටයුතු සිදු වන බැවින් එම මන්ත්‍රීවරුන්ට ඇතුලට යාමට අවස්ථාව ලබාදිය නොහැකි බවට එහිදී බන්ධනාගාර ආරක්ෂක අංශ දැනුම් දුන් බව හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.
පැය දෙකකට ආසන්න කාලයක් රැඳී සිටියත් ඒ සඳහා අවස්ථාව හිමි නොවූ බවද ඔහු සඳහන් කළේය.
මහර බන්ධනාගාරයේ ඇති වූ උණුසුම් තත්ත්වය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු සොයා බලා රටක් ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් පිරිස මෙම ගමන පැමිණි බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

