මහර බන්ධනාගාරයේ මහ යුද්ධයක් - 4 ක් මරුට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ, ටෝනි කරුණායක සහ රොමේෂ් ධනුෂ්ක සිල්වා)

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසුව දැනට රාගම රෝහලට මළ සිරුරු 4 ක් රැගෙන ආ බවත්, මේ වන විට තුවාල ලැබූ රැඳවියන් 25 දෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබන බවත් රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.

බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව බිඳගෙන පළා යාමට රැඳවියන් ගත් උත්සාහයකදී බන්ධනාගාර නිලධාරීන් කළ වෙඩි තැබීමකින් රැඳවියෙකු මිය ගොස් තිබේ. සිදුවීමෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ  මහතා පැවසීය.

අද රාත්‍රී 7.30 වන විට බන්ධනාගාරය ඇතුළත ගින්නක් පැවැති අතර දිගින් දිගටම වෙඩි ශබ්ද ඇසෙමින් තිබිණ. පොලිස් කණ්ඩායම් කිහිපයක් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය සඳහා මේ වනවිට යොදවා ඇතැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය. ඊට අමතරව නාවික හමුදාවද මහර බන්ධනාගාරය අසළට කැඳවා තිබේ.

ගිනි නිවන හමුදාවද කැඳවා ඇතත් ඔවුන්ව තවමත් බන්ධනාගාරය ඇතුළට කැඳවා නැත.

රැඳවියන් පිරිසක් ප්‍රධාන ගේට්ටුව කඩා ගෙන යාමට කළ උත්සාහයේ දී බන්ධනාගාරය තුළ ඇතිවූ නොසන්සුන්තාවයක් පාලනය කිරීම සඳහා වෙඩි තබා ඇතැයිද හෙතෙම කීය.

වෙඩි තැබීම හේතුවෙන් රැඳවියන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවද, ඔවුන් රෝහල්ගත කිරීමට අවශ්‍ය පියවර ගොන ඇති බවද පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි. මේ අතර සිදුවීමෙන් තමන්ගේ ඥාතීන්ට සිදුවී ඇත්තේ කුමක්ද යන්න විමසමින් බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීහු පිරිසක් ප්‍රධාන දොරටුව අසළ කලබල කරමින් සිටිති.

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක ද සිල්වා)