මහර බන්ධනාගාර කැරැල්ලට වගකිව යුතු රැඳවියන් අධිකරණයට


(මනෝප්‍රිය ගුණසේකර)

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන්නැයි ඉල්ලා මහර බන්ධනාගාර රැඳවියන් පැවැත්වු විරෝධතාවයේදී නිලධාරීන්ට පහර දුන් සහ බන්ධනාගාරයට හානි කළ රැඳවියන් 63 දෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා රහස් පොලිසියට නියම කළේය.

මෙම විරෝධතාවයේදී රැඳවියන් බන්ධනාගාර ගොඩනැඟිලිවලට ගිනිතැබීමෙන් සහ පහරදීමෙන් එම ගොඩනැඟිලවලට සහ අහාර ගබඩාවේ තිබු ආහාර තොගවලට රුපියල් කෝටි දෙකකට ආසන්න පාඩුවක් කොට ඇති බවට රජයේ තක්සේරු දෙපාර්තමෙන්තුව ඉදිරිපත් කළ වාර්තා සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

විරෝධතාවය අතරතුර රැඳවියන් බන්ධනාගාරයේ ගොඩනැඟිලිවලට ගිනිතැබීමෙන් සහ පහරදීමෙන් රුපියල් එක්කෝටි හැත්තෑහතර ලක්‍ෂයකට අධික පාඩුවක් කොට ඇති බවත් විරෝධතාවය වන විට බන්ධගාරයේ රැස්කොට තිබු රුපියල් ලක්‍ෂ 19කට ආසන්න ආහාර තොග විනාශ කොට ඇති බවත් රජයේ තක්සේරු දෙපාර්තමෙන්තුව වාර්තාවක් මඟින් වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී තිබිණී.

එම කරුණු සළකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා අපරාධයන්ට සම්බන්ධ සියළු රැඳවියන් අත්අඩංගුවට ගැනීමට නියම කෙරිණී.