මහබැංකු සේවකයා නෙරපූ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අනුමත කරයි


 
( රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා)
 
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සේවයෙන් පහ කළ ජ්‍යෙෂ්ඨ පරිගණක විශ්ලේෂකයෙකුට විශ්‍රාම වැටුප් සහිතව රුපියල් දශ ලක්ෂයක වන්දි මුදලක් සහ වයස අවුරුදු 60 වන තෙක් වැටුප් ලබා දීමට කොළඹ මහාධිකරණය මඟින් ලබා දුන් තීන්දුව ඉවත දැමීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය , ඔහුව එම සේවයෙන් පහ කිරීම සාධාරණ බවට කම්කරු විනිශ්චය සභාව මඟින් ලබා දුන් තීන්දුව අනුමත කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඉදිරිපත් කර තිබූ විශේෂ අභියාචන පෙත්සමකට අවසර ලබා දෙමිනි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූදල් මණ්ඩලය මඟින් ගොනු කර තිබූ විශේෂ අභියාචන පෙත්සමෙහි වගඋත්තරකරු ලෙස මාකොළ , උතුරු මාකොළ ශ්‍රී පරාක්‍රම මාවතේ පදිංචි අංක 392 දරණ ස්ථානයෙහි පදිංචි ආර්.චන්ද්‍රසේන මහතා නම් කරනු ලැබ ඇත

මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ බුවනෙක අළුවිහාරේ , විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් යුතු ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.

අනෙකුත් විනිසුරුතුමන්ලාගේ එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අළුවිහාරේ මහතා විසින් ප්‍රකාශයට පත් කළ තීන්දුවේ මෙසේද සදහන් වේ.

“පැමිණිලිකාර වගඋත්තරකරු 1969 වසරේදී මාණ්ඩලික නොවන නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා මහබැංකු සේවයට එක්විය.පෙත්සම්කරුගේ සේවය 2000 වසරේ මාර්තු 23 වන දින අත්හිටුවීය.ඔහුට චෝදනා පත්‍රයක්ද ලබා දුන්නේය. ඉන්පසුව අභ්‍යන්තර පරීක්ෂණයක්ද සිදු කෙරිණි. ඒ වන විට ජ්‍යෙෂ්ඨ පරිගණක පද්ධති විශ්ලේෂක ( මාණ්ඩලික 2 වැනි ශ්‍රේණිය ) ලෙස කටයුතු කළ ඔහුගේ සේවය 2002 වසරේ ජූලි 25 වැනි දින සිය සේවය අවසන් කෙරිණි.

ඉන්පසුව පැමිණිලිකාර වගඋත්තරකරු සිය සේවය අවසන් කිරීමට එරෙහි කම්කරු විනිශ්චය සභාවට පැමිණිලි කරනු ලැබීය.එහිදී පැවති පැමිණිලි විභාගයේදී අනාවරණය වූයේ ඔහු වංචාවක් සිදු කර ඇති බවය.ඒ අනුව කම්කරු විනිශ්චය සභා සභාපතිවරයාගේ තීරණය වූයේ පැමිණිලිකරුව සේවයෙන් නෙරපීම යුක්ති සහගත බවය.ඒ අනුව පෙත්සම්කාර වගඋත්තරකරුගේ පැමිණිල්ල නිෂ්ප්‍රභ කෙරිණි.ඉන්පසු පැමිණිලිකාර වගඋත්තරකරු එම තීන්දුවට එරෙහිව මහාධිකරණයට අභියාචනය ඉදිරිපත් කෙරිණි.

එම අභියාචනය විභාගයට ගැනීමෙන් පසු මහාධිකරණ විනිසුරුවරයා විසින් කම්කරු විනිශ්චය සභා තීන්දු ඉවත දමා ඔහුගේ සේවය එලෙස අවසන් කිරීම වැරදි සහගත බව තීන්දු කළේය.ඊට අමතරව පෙත්සම්කරුට වයස අවුරුදු 60 දක්වා වැටුප් ලබා ගැනීමට හිමිකම් ලබන බවත් , රුපියල් දශ ලක්ෂයක වන්දි ලබා දෙන ලෙසටත් , ඔහුට විශ්‍රාම වැටුප් හිමිකම ලබා දෙන බවටද තීන්දු කළේය.

ඉන්පසු මෙම තීරණයෙන් අගතියට පත් ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලය මෙම මණ්ඩලය මෙම විශේෂ අභියාචන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදී පෙත්සම්කරු සම්බන්ධයෙන් කම්කරු විනිශ්චය සභාව ලබා දුන් තීරණය පිළිබඳව වැරදි සහගත ලෙස මහාධිකරණ විනිසුරුවරයා විමර්ශනයට ලක් කර ඇති බව අධිකරණයේ මතයයි.

ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා ලබා දුන් නියෝගය ඉවත දමන බවද , කම්කරු විනිශ්චය සභාව ලබා දුන් නියෝගය තහවුරු කරන බවද තීන්දුවේ වැඩිදුරටත් සදහන් වේ.

ශ්‍රී ලංකා මහබැංකුව වෙනුවෙන් ජනාධිපති නීතීඥ ජෙෆ් අලගරත්නම් මහතා පෙනී සිටියේය.

පැමිණිලිකාර වගඋත්තරකරු වෙනුවෙන් නීතීඥ රුචිර ගුණසේකර මහතා සමඟ නීතීඥ මුෂාඞ් මහරූෆ් මහතා පෙනී සිටියේය.