මහනුවර සිසුවාට පහරදුන්නැයි හතරක් උසාවියට


මහනුවර පිරිමි පාසලක් ඉදිරිපිට දී සිසුවකුට පහර දුන් බව කියන සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය පවසයි. ඔවුන් වයස අවුරුදු 19,20,21 යන අතර බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.


මහනුවර ප්‍රසිද්ධ පිරිමි පාසලක සිසුවකුට පහර දීම සම්බන්ධයෙන් අන්තර්ජාලයේ වීඩියෝවක් පළවී තිබුණ ද පාසලෙන් හෝ පහර කෑ සිසුවාගෙන් පැමිණිල්ලක් ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

අන්තර්ජාලය ඔස්සේ පළවු රූප රාමු වලින් ඔවුන් හඳුනාගෙන ඒ සම්බන්ධව විමර්ෂණයක් අරඹන ලෙස මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස්පති කාර්යාලයට උපදෙස් දි ඇති ඇති බවත් ඔවුන් කියයි.

තම විද්‍යාලයේ 12 වැනි ශ්‍රේණියේ ශිෂ්‍ය නායකයකු 13 වැනි ශ්‍රේණියේ සිසුවෙකුට කොණ්ඩය කපා ගන්න යැයි පවසා ඇති බවත් ඒ පිළිබඳ කිපුණු 13 වැනි ශ්‍රේණියේ සිසුවා ශිෂ්‍ය නායකයාට පහර දී ඇති බවත් පසුව සිසුන් දෙදෙනාගේම දෙමාපියන් ගෙන්වා සමාදාන වු බවත් එම විදුහලේ විදුහල්පති කීය.

සිසුන් දෙදෙනා පසු දිනද පාසලේ සමගිව සිටිම නිසා ඉන් පසු කිසිදු ගැටලුවක් ඇති නොවු බවත් එම නිසා මේ සම්බන්ධව නිතිය හමුවට නොගිය බවත් විදුහල්පති  පැවැසිය.

නමුත් පසුගිය (22) දා පාසල නිම වීමත් සමඟ නාඳුනන පිරිසක් පැමිණ 13 වැනි ශ්‍රේණියේ සිසුවාට පහර දි ඇති බවත් එම සිද්ධිය තමා ඇතුළු පාසලේ සියලුම ගුරු භවතුන් ප්‍රතික්ෂේප කරන බවත් මේ සම්බන්ධව නිති මාර්ගයෙන් කටයුතු කරන ලෙස අද දින පොලිසියට පැවැසු බවත් විදුහල්පතිවරයා පැවැසිය.