මහනුවර රෝහල තවත් වාර්තාවක් තියයි


කාන්තාවකගේ හිස් කබලෙහි අසාමාන්‍ය අස්ථි වර්ධනයකින්  මොළයේ පටලයකින් හටගත් ගෙඩියක්  සාර්ථක සැත්කමකින් ඉවත් කිරීමට මහනුවර මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥයකු සමත් විය. මහනුවර මහ රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඩබ්ලිව්.ඩී. ලෙස්ලි සිරිවර්ධන මහතා මේ සැත්කම රෝහලේදී කෙළේය. පෞද්ගලික රෝහලක ඒ සැක්කමට අයකරන ගාස්තුව රුපියල් ලක්ෂ හත හමාරකි. හිස් කබලේ දකුණු පැත්තේ ඇති වූ වර්ධනයෙන් නළලේ කොටසක් ඉදිරියට නෙරා ඇවිත් තිබිණි. දකුණු ඇසට ද  වේදනාවක් ඇති විය. දෙදරු මවක වන ඇය වසර හතරක්ම දුක් වින්දාය. පල්ලේ බැද්දේ කේ.ජී. චන්ද්‍රාවතී (52) මහත්මියගේ සැමියා ද අසනීපයෙන් සිටියි. පැය අටක සැත්කමකින් පසු  දවසක් දැඩි සත්කාර ඒකකයේ සිටි ඇය දැන්  වාට්ටුවකට යවා ඇත.

සැත්කමට මුදල් සොයා ගැනීමට ටිකට් මුද්‍රණය කරන්නට සැරැසී සිටියදී දොස්තර සිරිවර්ධනට මේ පුවත සැලවිය. හිස් කබලෙන් ඉවත් කළ ඇට කැබැල්ල වෙනුවට සෙ.මී. 5 X 5 ක ටයිටේනියම් කැබැල්ලක් යොදා සැත්කම කැරිණි.  චන්ද්‍රවතී මහත්මියට පැවැසුයේ ඒ සඳහා අවශ්‍ය වූ ඇණ අටක් මිලට ගැනීමේ මුදල වූ රුපියල් 12000ක් පමණි ටයිටේනියම් යනු බර අඩු මළ නොබැඳෙන ඉතා සැහැල්ලු ලෝහයකි.

තම ගුරුවරයා වන විශේෂඥ ශල්‍ය වෛද්‍ය දොස්තර සුනිල් පෙරේරාගෙන් ලත් පුහුණුව දොස්තර සිරිවර්ධන සිහිපත් කරයි. අවම පහසුකම් යටතේ ලොකු අවදානමක් දරමින් සැත්කම සාර්ථකව නිම කළ බව ඔහු කියයි.