මහනුවර නගරසභා රැස්වීම විපක්ෂය වර්ජනය කරයි


(ජේ ඒ එල් ජයසිංහ)

මහනුවර මහ නගර සභාවේ මංගල මහා සභා රැස්වීම ආරම්භ වී පැය හතරකට පසුව , නගර සභාවේ ස්ථාවර කාරක සභා අටට පත්කල යුතු නියෝජිතයන් 48 දෙනා අතරට සභිකයන් පත් කිරීමේදී අසාධාරණයක් වූ බව පවසමින් නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු 21 දෙනෙක් සභාව වර්ජනය කරමින් සභා ශාලාවෙන් පිටතට ගියහ.

මෙහිදී නගර සභාවේ විපක්ෂ නායක ලලන්ත සංජීව පීරීස් (සමගි ජන බලවේගය) මහතා පැවසූවේ ආණ්ඩු පක්ෂය කතාකරගත් පරිදි එකඟතාවය කඩ කිරීම නිසා තම කණ්ඩායම විරෝධය පළකර සභාවෙන් පිටව ආ බවයි.

එක්සත් ජාතික පක්ෂය , ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ,සර්ව ජනබලය ,ස්වාධීන මන්ත්‍ර‍වරයා සහ සමගි ජන බලවේගය යන පක්ෂ නියෝජනය කළ සියලුම මන්ත්‍රීවරු මන්ත්‍රීවරියන් මෙලෙස සභාව වර්ජනය කර සභා ශාලාවෙන් පිටව පැමිණි බව විපක්ෂ නායක ලලන්ත සංජීව පීරීස් (සජබ) මහතා පැවසීය.