මහජන ආරක්ෂක ඇමති උපාලි කොමිසම පතුරු ගහයි



(සුජිත් හේවාජුලිගේ සහ   අංජුල මහික වීරරත්න)

අපකීර්තිමත් උපාලි  අබේරත්න කොමිෂන් සභාව  මේ රටේ ජනතාවගේ මුදල් රුපියල් තුන් කෝටි පනස් ලක්ෂයකට වැඩි මුදලක් නැති නාස්ති කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ මුදල් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් හෝ උපාලි අබේරත්න ඇතුළු එම කොමිෂන් සභා සාමාජිකයන් තිදෙනාගෙන් අයකර ගත යුතු බවද  ඔහු සඳහන් කළේය.

ජනතාව රැවටීමට භාවිත කළ මෙවැනි කොමිෂන් සභාව  ගැන විශේෂ  විමර්ශනයක් ආරම්භ කළ යුතු බවද අමාත්‍යවරයා කීවේය. ඔහු මෙසේ පැවසුවේ  ජනාධිපති අගමැති උපරිමාධිකරණ විනිශ්චකාරවරුන් ස්වාධීන කොමිෂන් සභා ඇතුළු ආයතන සහ පුද්ගලයන්ගේ  වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය.

දූෂිත පුද්ගලයන්ගේ පැමිණිලි බාරගෙන රජයේ නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීම මෙම කොමිසමට පැවරී තිබූ බවත් උපාලි අබේරත්න කොමිෂන් සභාවේ නිර්දේශ සියල්ල නීති විරෝධී හෙයින් ඒවා  ශ්‍රේෂ්ඨාධිකරණය පසුව  අහෝසි කළ බවත්    ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය.

අල්ලසට දූෂණයට යට වූ කිසිම අයෙකු තම රජයේ නොමැති බවත් මහජන අභිලාෂයන් ඉටු කිරීමට ජාතික ජන බලවේග රජය උපරිම ධෛර්යයෙන්  කටයුතු කරමින් සිටින බවත් 
ඔහු වැඩිදුරටත්  පැවසීය.