මහ බැංකුවේ ප්‍රශ්නය ගැන වැදගත්ම හා අවංකම සාක්ෂිය දුන්නේ කාන්තාවක් - ජනාධිපති


(ඩයනා උදයංගනී)

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇතිවූ ප‍්‍රශ්නය ගැන සෙවීම සඳහා පත් කර ඇති ජනාධිපති කොමිසන් සභාවට මෙතෙක් කැඳවූ සාක්‍ෂිවලින් වැදගත්, නිවැරදි හා අවංකම සාක්‍ෂිය දී තිබෙන්නේ එහි හිටපු අධිකාරීවරියක් බවත්, කාන්තාවන් කෙතරම් අවංකව තම රාජකාරිය කරන්නේද යන්න පිළිබඳ එයින් පැහැදිලි වන බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ඇය අවංකව, පැහැදිලි ලෙස තමන්ගේ වගකීම ඉටුකරන්නට කටයුතු කර ඇති බව එයින් පෙන්නුම් කෙරෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

තමන්ට බලපෑම් ආ නිසා කරන්නට දෙයක් නොතිබූ බව ඇය කියා ඇතැයි කී ජනාධිපතිවරයා කාන්තාව තුළ තිබෙන පිරිසිඳු බව, අවංක බව තනතුරකට තිබෙන සුදුසුකම මෙන්ම යම් වගකීමක් පැවරූ විට අවංකව ඉටුකිරීමේ ගති ලක්‍ෂණ ඇගේ සාක්‍ෂිය තුළින් මනාව පැහැදිලි වන බව ද සඳහන් කළේය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (9) පැවති ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. 

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කාන්තා පෙරමුණ මගින් සංවිධානය කර තිබූ මෙම කාන්තා දින සැමරුම ‘ඇගේ සවිය පක්‍ෂයට හා රටට’ යන තේමාව යටතේ පැවැත්විණි.