මහ බැංකුවේ තීරණය බලරහිත කරන්න‘යි ඉල්ලූ පෙත්සම විමසීම මාස දෙකකින් කල්යයි


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය මඟින් තමන්ට පනවා ඇති ගනුදෙනු සීමා කිරීමේ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා සීමාසහිත පර්පචුවෙල් ට්‍රෙෂරීස් පෞද්ගලික සමාගම සහ ඊට අනුබද්ධ සමාගම් 2ක් ගොනු කර ඇති රිට් පෙත්සම් සම්බන්ධයෙන් තවදුරටත් කරුණු විමසීම ලබන ජූනි 01 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද (30)  තීන්දු කළේය.

ජනාධිපති නීතීඥ එස්. පර්තලිංගම් මහතා කියා සිටියේ පෙත්සම්කාර සමාගම් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවා තිබූ තහනම මේ 31 වැනිදායින් අවසන් වන බවත් එබැවින් යම් හෙයකින් නැවතත් සීමා පැනවුවහොත් ඊට එරෙහිව මෙම පෙත්සම හරහා එලෙස සීමා පැනවීම් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් ගනුදෙනු සම්බන්ධයෙන් සිය සමාගම් කටයුතු කළ අතර එම ක‍්‍රියාවලිය මඟින් මෙරට ජාතික ආර්ථිකයට විශාල හානියක් කර ඇතැයි මහබැංකු මූල්‍ය මණ්ඩලය විසින් තීරණය කිරීමෙන්  පාරිභෝගිකයින්ට ගනුදෙනු කරුවන්ට හා ජාතික ආර්ථිකයට ද හානියක් සිදුව ඇති බවද ජනාධිපති නීතීඥවරයා පැවසීය.