(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා මහ මහ බැංකුවේ කටයුතුවලට බාධා කිරීම වැළැක්වීම සහ පරිපාලනමය සහ මූල්‍ය ස්වාධීනත්වයක් ලබා දීම සදහාවූ ‘ශ්‍රී ලංකා මහබැංකුව’ පනත් කෙටුම්පත සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් පාර්ලිමේන්තුවට අද (07) ඉදිරිපත් කරනු ලැබීය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වයට සැම විටම ගරු කරනු ලැබිය යුතු අතර කවර හෝ තැනැත්තකු මහ බැංකුවේ අධිපතිවරයාට හෝ පාලක මණ්ඩලයේ සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන්ට හෝ මහ බැංකුවේ සේවා නියුක්තයන්ට ඔවුන්ගේ බලතල කාර්යය සහ කර්තව්‍යය ක්‍රියාත්මක කිරීමේදී කවර හෝ බලපෑමක් කිරීම හෝ මහ බැංකුවේ කටයුතුවලට බාධා කිරීම හෝ නොකළ යුතු බවද පනත් කෙටුම්පතේ සඳහන් වෙයි.
එසේම දේශීය මිල ස්ථායිතාව අත්කර ගැනීම සහ පවත්වාගෙන යාමත් මූල්‍ය පද්ධති ස්ථායිතාවය සුරක්ෂිත කිරීම මහ බැංකුවේ ප්‍රධාන අරමුණ විය යුතු බවටත් පනත් කෙටුම්පතේ සදහන් වේ.
ඊට අමතරව මහ බැංකුවේ කටයුතුවල පරිපාලනය සහ කළමනාකරණය අධීක්ෂණය කිරීම සහ මුදල් ප්‍රතිපත්තිය නොවන මහ බැංකුවේ පොදු ප්‍රතිපත්ති තීරණය කිරීමේ වගකීම පැවරුණු ‘පාලක මණ්ඩලයක්’ පිහිටුවීමද මෙම පනත මගින් සිදුකෙරේ. එහි සභාපතිවරයා මහ බැංකුවේ අධිපතිවරයා විය යුතු අතර විශේෂඥ දැනුමක් ඇති සාමාජිකයන් හය දෙනෙකුද ඊට පත් කෙරෙනු ඇත.

