(සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික විරරත්න )
ශ්‍රී ලංකා මහ බැංකුව පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියවීමේ විවාදය ලබන 20 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
මේ අතර දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදය ලබන 19 වැනිදා පැවැත්වීමටද එම කාරක සභාව තීරණය කර ඇත.
පාර්ලිමේන්තුව ජූලි 18 සිට 21 දක්වා පැවැත්වීමට නියමිතය.
එම සෑම දිනකම පෙ.ව 9.30 - පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.
මේ අනුව 2023 ජූලි මස 18 වැනි අඟහරුවාදා පෙ.ව. 09.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව. 10.30 සිට ප.ව. 1.30 දක්වා රේගු ආඥාපනත යටතේ අංක 2325/07 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද යෝජනා සම්මතය (235 අධිකාරය) සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2335/26 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි විවාදයට ගැනීමට නියමිතව ඇත.
අනතුරුව විරුද්ධ පාර්ශ්වය ගෙනෙන යෝජනාවට අනුව පලස්තීන ජනතාව වර්තමානයේ මුහුණදී සිටින දුෂ්කරතා පිළිබඳ කල් තැබීමේ විවාදය ප.ව. 1.30 සිට ප.ව. 5.30 දක්වා පැවැත්වීමටද මෙහිදී තීරණය වී ඇත.
දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ සහ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදය19 වැනි බදාදා පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

