මහ බැංකු හිටපු අධිපති ගැන පරික්ෂණයක් ඔිනෑ


ශ්‍රී ලංකා මහ බැංකුවේ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍ර මහතාගේ විදේශ සංචාර වියදම්වලට අදාළ වාර්තාවෙන් දක්වා ඇති අක‍්‍රමිකතා සම්බන්ධයෙන් අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව වහාම පරීක්‍ෂණයක් කළ යුතු යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (9) පැවසීය.

මෙම විගණන වාර්තාවේ සඳහන් කරුණුවලට ඔහු පිළිතුරු දිය යුතු යැයිද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

සිය ධුර කාලය තුළ හිටපු මහ බැංකු අධිපතිවරයා රුපියල් කෝටි 6 1/2 කට අධික මුදලක් අවභාවිත කර ඇති බව එම වාර්තාවේ සඳහන් වන බවද ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

මෙම වාර්තාව අභියෝගයට ලක්කරමින් හිටපු මහ බැංකු අධිපතිවරයා සිය අත්සන රහිතව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර ඇති බව දැනගන්නට ඇතැයිද එවැනි නිවේදනයක් නිකුත් කරන බවක් ඔහු තමාටවත් දැනුම්දී නැතැයිද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

එවැනි මාධ්‍ය නිවේදනයක් පළකිරීම පිළිබඳව මාධ්‍ය ආයතනද දෙවරක් සිතා බැලිය යුතු බවද නොඑසේනම් මෙම නිවේදනය තමාගේ නොවන බව කීමට පවා ඔහුට හැකියාව ඇති බවද රාජ්‍ය ඇමැතිවරයා කීය.

මහ බැංකුවේ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ වාර්තාව ඔහුට නොදීම පිළිබඳව ඔහු මහ බැංකු විගණන නිලධාරීන්ට දෝෂාරෝපණය කර ඇතත් ඔවුන් එම වාර්තාව ලබාදිය යුත්තේ වත්මන් අධිපතිවරයාට මිස හිටපු අධිපතිවරයාට නොවේ යැයිද රාජ්‍ය ඇමැතිවරයා ප‍්‍රකාශ කළේය.

කොළඹ කොටුවේ පිහිටි රාජ්‍ය මුදල් අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.