මහ පිරිත හින්දියෙන්


බුද්ධගයාවේ බුදු නුවණ මහමෙව්නා අසපුවේ හිමිවරු සහ දහම් පාසලේ ඉන්දියා දරු දැරියන් එකතුව පාලි සහ හින්දි භාෂාවලින් මහ පිරිත සජ්ඣායනය කිරීමේ පින්කමක් පැවැත්වූහ.

බෝසතානන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වී වදාළ ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේ අභියස ධර්මාශෝක අධිරාජයාණන් විසින් පිහිටුවන ලද වජ්රාසනය අසල මෙම පිරිත් සජ්ඣායනය පැය තුනක් පුරා පැවැත්විණි.

බුද්ධගයා මහා විහාරය අවට ජීවත්වන බුදුදහම කෙරෙහි උනන්දුවක් දක්වන දරු දැරියන් විශාල සංඛ්‍යාවක් බුදුනුව විහාරස්ථානයේ දහම් පාසලට පැමිණ බුදුදහම උගනිති.

දහම් අධ්‍යාපනය සඳහා අවශ්‍ය පොත පත හින්දි භාෂාවට පරිවර්තනය කර ඇති අතර මෙම පන්තිවලට සහභාගීවන දරු දැරියන්හට හින්දි සහ පාලි භාෂාවෙන් පන්සිල් සහ වන්දනා ගාථා මෙන්ම පිරිත් දේශනා අර්ථය උගන්වා ඒවා නිවැරදිව කීම සඳහාද පුහුණුවක් දෙයි.

බුදු නුවණ මහමෙව්නා අසපුවේ මහන දම් පුරන ඉන්දියා ජාතික භික්ෂුන් වහන්සේද වැඩ සිටිති. දහම් පාසලේ ඉගෙනීම් කටයුතු කෙරෙන්නේ හින්දි භාෂාවෙනි.

ඉන්දියාවේදී මෙවන් පින්කමක් සිදුවූ පළමු අවස්ථාව මෙය බව සඳහන් වෙයි.

බුද්ධගයාවේ පිහිටි අනෙකුත් ශ්‍රී ලාංකික මෙන්ම වෙනත් බෞද්ධ රටවල සියලුම විහාරස්ථාන මඟින්ද දහම් පාසල් අධ්‍යාපනය මෙන්ම අනෙකුත් සාශනික කටයුතු ඉතා සාර්ථක අන්දමින් පවත්වයි.

6 7 5 1 2