මහ පාරට වැටුණු මව් සෙනෙහස


රන්න චන්ද්‍රසේන ගමගේ

මහමඟ දමා ගිය වයෝවෘද්ධ මවක ප්‍රදේශවාසීන් විසින් කවා පොවා නහවා අලුත් ඇඳුම් ද අන්දවා පොලිසියට බාරදීමේ සිද්ධියක් මිද්දෙනිය තබලපැලැස්ස ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මිද්දෙණිය පොලිස් වසමට අයත් තලාව තබලපැලැස්ස ප්‍රදේශයේ මහමඟ දමා ගිය මවක මෙලෙස ප්‍රදේශවාසීන්ගේ සත්කාර මැද පොලීසියට බාර දුන් බව මිද්දෙණිය පොලිසිය පවසයි.

තලාව ඇඹිලිපිටිය මාර්ගයේ තබලපැලැස්ස ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ සිටි කාන්තාව ඊයේ (19) අලුයම නිවැසියන් විසින් දැක ඇයගෙන් තොරතුරු විමසා තිබේ. එහෙත් තමන් ගැන පැහැදිලි තොරතුරක් දෙන්නට ඇයට නොහැකි වී ඇත. පසුව තබලපැලැස්ස ප්‍රදේශයේ ජනතාව ඇයට උපකාර කරන්නට ඉදිරිපත් වූහ.

කාන්තා පිරිසක් මෙම වයෝවෘද්ධ මව නිවසකට රැගෙන ගොස් නහවා පිරිසුදු කළහ. අලුත් ඇඳුම් ද, ආහාර ද ඇයට ලැබිණි. කාන්තාවන් කිහිප දෙනකුම එම මවගෙන් තොරතුරු විමසුව ද ඇයට තමන් ගැන යමක් කියන්නට මතකයක් නොවීය.

මිද්දෙණිය පොලිසියේ නිලධාරි පිරිසක් ද තබලපැලැස්සට පැමිණ මවගෙන් තොරතුරු විමසූහ. පොලිස් නිලධාරීන්ට ද තොරතුරු දෙන්නට එම වයේවෘද්ධ මවට මතකයක් නොවිණි.

පොලිසිය පැවසුවේ කවුරුන් හෝ පිරිසක් මෙම මව මෝටර් රථයකින් රැගෙන විත් මහමඟ දමා යන්නට ඇති බවයි. මහමඟ දමා ගිය මව වරින් වර දරුවන් දෙදෙනකු ගැන සඳහන් කළ බව ද පොලිසිය කියයි. මළ පහ පවා තැවරී සිටි එම වයෝවෘද්ධ මව සෝදා  උපකාර කිරීමට තබලපැලැස්සේ ජනතාව ඉදිරිපත් වූ බව පොලීසිය කීය.