බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය හතර වැනි දා පැවැති ‘ගුරු පවුර‘ නම් වැඩසටහනට සහභාගී නොවූ විදුහල්පතිවරුන් සඳහා සෙනසුරාදා (26) තවත් රැස්වීමක් පැවැත්වෙන බවත්, ඊට ද සහභාගී නොවුනහොත් විදුහල්පති තනතුරෙන් ඉවත් කිරීමට සිදුවන බවත් බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් එස් ටී කොඩිකාර මහතා විදුහල්පතිවරුන් වෙත ලිඛිතව දන්වා ඇත.
ගුරු පවුර වැඩසටන සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කලාප, කොට්ඨාස නිලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුම්වත් කිරීම සදහා ඉකුත් හතර වැනි දා කොළඹ මහානාම විද්‍යාලයයේ රැස්වීමක් පැවැති බවත්, ඊට සහභාගී නොවුණු විදුහල්පතිවරුන් නිල වගකීන් පැහැර හැර ඇති බවත්, එම විදුහල්පතිවරුන් වෙනුවෙන් අද පෙරවරු 10ට කොළඹ ටී බී ජයා මහා විද්‍යාලයයේ රැස්වීමක් පවත්වන බවත් ඊට ද සහභාගී නොවුනහොත් දැනට දරන විදුහල්පති තනතුරෙන් ඉවත් කිරීමට සිදුවන බවත් දන්වා 2013.10.15 දිනැති ලිපියක් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂමගින් විදුහල්පතිවරුන්ට යවා තිබේ.
දේශපාලන උවමනා එපාකම් මත පවත්වන රැස්වීම් සදහා සහභාගී නොවුණු විදුහල්පතිවරුන් ඉවත් කිරීමට පළාත් අධ්‍යාපන ලේකම්ට බලයක් නැතැයි ලංකා ගුරු සංගමය කියයි.
ආයතන සංග්‍රහය, විනය නීති සංග්‍රය තිබියදී අත්තනෝමතික ලෙස කටයුතු කළ නොහැකි බවත්, සෙනසුරාදා දිනක පැවැත්වෙන මේ රැස්වීම දේශපාලන අරමුණක් පෙරදැරිව පවත්වන්නක් බවත්, එවැනි රැස්වීමට නොපැමිණියහොත් විදුහල්පති තනතුරෙන් ඉවත් කරන බවට අනතුරු ඇගවීම හෙළා දකින බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අතර සංවර්ධනයක් ඇති කිරීමේ අරමුණින් පවත්වන මේ වැඩසටහනට සහභානී වීම අනිවාර්ය කර තිබියදී ඊට නොපැමිණි විදුහල්පතිවරුන් ගැන අවශ්‍ය කටයුතු කිරීමට තමාට හැකි යැයි බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් එස් ඩී කොඩිකාර මහතා පවසයි.
ගුරු පවුර වැඩසටහන මගින් ගුරු විදුහල්පතිවරුන්ට ප්‍රයෝජන රැසක් ලැබෙන බවත්, පළාත් අධ්‍යාපන ලේකම් ලෙස තමාගේ නියෝග පිළිපැදීමට විදුහල්පතිවරුන් බැදී සිටින බවත් කොඩිකාර මහතා සදහන් කරයි.