මස්කිරීමට කිඹුලකු මැරූ සිවිල් ආරක්ෂක භටයෝ 7 ක් අල්ලති


 

 

 

(අමදෝරු අමරජීව)

 

මස් කිරීමට කිඹුලෙකු මරා ගෝමරන්කඩවල නීල පනික්කම් කුලම වැව් ඉස්මත්තේ කැළෑවක සැඟවූ සිවිල් ආරක්ෂක භටයෝ 7 ක් ගෝමරන්කඩවල පොලිසිය හා වනජිවී අඩවි කාර්යාල නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිසියට ලද තොරතුරක් අනුව වනජිවී නිලධාරින් සිවිල් ආරක්ෂක භට පිරිසක් සමඟ එක්වීමෙන් මෙම වැටලිම සිදුකර තිබේ.

අඩි 8 යි අඟල් 3 ක් දිග කිඹුලා මෙලෙස මරා දමා තිබුණේ පොලු වලින් පහරදී බව එම වැටලීමට එක් වූ වන සත්ව අඩවි සහකාර ඩබ්.එම්.ඒ.ඩි. වික්‍රමසිංහ මහතා පැවසීය.

නිල පනික්කම් කුලම වැවේ මාලු ඇල්ලීමේ යෙදී සිටි මෙම සිවිල් ආරක්ෂක භට පිරිස එලා තිබූ දැළකට පැටලුණු කිඹුලා ගොඩ ගෙන පහරදී මරා මෙසේ කැළෑවේ සඟවා ඇති බව මුලික විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සිවිල් ආරක්ෂක භටයෝ 7 දෙනා ගෝමරන්කඩවල අඩම්පනේ  සිවිල් ආරක්ෂක බළකා කඳවුරට අනුයුක්ත පිරිසක් වන අතර ඔවුන් ගෝමරන්කඩවල බක්මිගම පදිංචිකරුවෝ වෙති.